
සිඩ්නි සොයිසා යනු ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉතා විවාදාත්මක චරිතයකි. ඔහුගේ වසර විසි නමයක් වූ සේවා කාලය තුළ ඔහු තරම් පොලිසියේ අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන් නිලධාරියකු මෙතෙක් බිහිවී නොමැතිි තරම්ය. ඉතා දැඩි විනය පාලකයෙකු මෙන්ම ලේසියෙන් යමෙකුට සිය කොන්ද නොනමන දරදඬු චරිතයක් ලෙසද සිඩ්නි ප්‍රසිද්ධිය. 1931 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ලංකා පොලිසියට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්වූ සිඩ්නි 1959 වර්ෂයේ අනිවාර්ය විශ්‍රාම ගැනීම යටතේ දහනායක රජය විසින් පොලිස් සේවයෙන් ඉවත් කරනු ලැබූ අවස්ථාව දක්වා වසර 29ක් ලංකා පොලිසිය තුළ සේවය කර ඇත.
1962 වු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නොහොත් “කර්නල් වරුන්ගේ කුමන්ත්‍රණ” නඩුවේ ප්‍රධාන සැකකාරයකු ලෙස සිඩ්නි අත්අඩංගුවට ගනුලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරුවන් තිස්දෙනා අතරින් සිඩ්නි සොයිසා ඇතුළු දහතුන් දෙනෙකු විශේෂ අපරාධ අධිකරණය විසින් රාජ්‍ය විරෝධ කුමන්ත්‍රණ චෝදනාවන් සම්බන්ධව වරදකරුවන් කරනු ලැබීය. නමුත් චූදිතයන් විසින් එම දඬුවමට එරෙහිව එංගලන්තයේ ප්‍රීවි කවුන්සලයට කරනු ලැබූ අභියාචනයක් හේතුවෙන් සියලුම චූදිතයන් 1965 වර්ෂයේදී ඔවුනට එරෙහිව නඟා තිබූ සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට ප්‍රීවි කවුන්සලය නියෝග කළේය.1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර ලංකාවේ අවසාන තීන්දුව එංගලන්තයේ ෆ්රීවි කවුන්සලය හෙවත් රාජාධිකරණයට අභියාචනා කිරීමට ඉඩකඩ දී තිබිණි.
රාජ නීතිඥ ශ්‍රීමත් ප්‍රන්සිස් ද සොයිසාට දාව එතල් පෙරේරා අමරසේකර සිරිවර්ධනට 1909 ඔක්තෝම්බර් 15වන දින උපත ලද සිඩ්නිි සොයිසාගේ පියා පලමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර සිටි අයෙකි. ඔහුගේ සොහොයුරු ස්ටැන්ලි ද සොයිසා බණ්ඩාරනායක රජයේ මුදල් අමාත්‍යවරයාය. සිය ප්‍රාථමික අධ්‍යාපනය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන්ද ද්වීතික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලය තුලින්ද ලද සිඩ්නි ලංකා විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලැබ 1931 වර්ෂයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිසියට එක්ව ඇත. 1955 වර්ෂය නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කරනු ලැබූ සිඩ්නි සොයිසා එවකට ලංකා පොලිසියේ පරිපාලනය බෙදා වෙන්කර තිබූ දිසා දෙකෙන් එකක් ලෙස සැලකුන දිසා -2 භාරව සිය රාජකාරී කටයුතු සිදු කර ඇත.
1956 වර්ෂයේ ගල්ඔය මිටියාවතේ “ගල්ඔය කැරැල්ල” මැඩලීමට ගියේ ඔහුය. එවකට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවය කළ සේවකයන් ඇතුළු කලහකාරී පිරිසක් 1956 සිදුවූ සිංහල දෙමළ ජාතිවාදී කෝලාහලය මුල්කරගෙන අම්පාර සහ ඉඟිණියගල ප්‍රදේශයන්හි පදිංචිව සිටි දමිළ ජනතාව ඝාතනය කළහ. එම සිද්ධීන් පාලනය කිරීම භාරව කටයුතු කිරීම සඳහා ගල්ඔයට යවනු ලැබූ සිඩ්නි සොයිසාගේ අණ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් කලහකාරි පිරිස් හමුවේ සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය විය. මෙම වෙඩි තැබීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැක්වා ගැනීමට පොලිසියට හැකිවීී තිබේ. එවකට බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරයෙකු මෙන්ම වාමාංශික නායකයෙකුද වූ පිලිප් ගුණවර්ධන ප්රමුඛ පිරිසක් මෙම කැරලිකරුවන් මෙහෙයවන බව සිඩ්නි සොයිසාට වාර්තා වී තිබූණි. ඔහු විශාල ජන සමූහයක් පිරිවරා සිටි අමාත්‍යවරයා හමුවේ ප්‍රසිද්ධිය පවසාා ඇත්තේ තව දුරටත් නීති කඩමින් කටයුතු කළහොත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා බවයි. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය හේතුවෙන් සිඩ්නි සමඟ උරණවූ අමාත්‍යවරයා එදිනම සවස අම්පාර නගරයේ පවත්වනු ලැබූ ප්‍රසිද්ධ රැස්වීමකදී නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි සොයිසා යනු පොලිස් දාමරිකයකු බවත් ඔහු මේ වන විටත් හිර කූඩුවක සිටිය යුතු පුද්ගලයකු බවත් කීවේය. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධව සිඩ්නි සොයිසා විසින් පිලිප් ගුණවර්ධනයට එරෙහිව තම කීර්ති නාමයට හානි කරන ලදැයි සිවිල් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ නමුත් නඩුව විභාග කළ අධිකරණය විසින් අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය හුදු මහජන මතය ප්‍රකාශ කිරීමක් ලෙස අර්ථ දැක්වීම හේතුවෙන් නඩුව නිෂ්ප්රභා කෙරුණි. මේ සිද්ධිය හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය තුළ සිටි පිලිප් ගුණවර්ධනට හිතවත් අමාත්‍යවරුන් කණ්ඩායමක් සිඩ්නි සොයිසා විරෝධී බලවේගයක් ලෙස රජය තුළ ක්‍රියාත්මකව පැවතියත් සිඩ්නි සතුව තිබූ පෞරුෂය මෙන්ම සෘජු ගතිගුණද හේතුවෙන් ඔහුව පොලිසිය වෙන් ඉවත් කිරීමට එම බලවේගයට නොහැකි විය. කෙසේ වෙතත් සිඞ්නි යනු ප්‍රබල අමාත්‍යවරුන් පවා නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වුවහොත් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විරල පොලිස් නිලධාරියකු ලෙස ප්‍රසිද්ධය.
1959 සිදුවූ බණ්ඩාරනායක ඝාතනය සිදුවූ අවස්ථාවේ අපරාධ ස්ථානයට ප්‍රථමයෙන් ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ලෙසද සිඩ්නි සොයිසාගේ නම සඳහන්ය. ඝාතකයා ලෙස සැලකුණු “තල්දුවේ සෝමරාම” හිමියන් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන වරාය පොලිසිය වෙත රැගෙන යාමට නියෝග දීම සිදු කර ඇත්තේ ද සිඩ්නි සොයිසා බව බණ්ඩාරනායක ඝාතන නඩුවේදී හෙළිදරව් වූ කරුණකි.බණ්ඩාරනායක ඝාතන සිද්ධිය සම්බන්ධව එවකට ප්‍රභූ පැලැන්තිය අතර සැරිසරු දාමරිකයෙකු ලෙස ප්‍රකට ඔසී කොරයාගේ නම ඇඳීමත් ඔසී කොරයා සහ සිඩ්නිගේ සොහොයුරකු වන ඩිකී සොයිසා අතර තිබූ දැඩි මිත්‍රත්වය හේතුකොටගෙන බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා දෙසටත් ඇඟිල්ල දික්විය. මේ හේතුවෙන් ඔහු විසින් “කට කතාවන්ට එරෙහිව සැබෑ සත්‍යය” ( Facts aganst the Gossips) නමින් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබීය. අවස්ථාව එනතුරු කල්යල් බලමින් සිටි රජය තුළ සිටි සිඩ්නි විරෝධී බලවේගය මුල්වී අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමේ වරදට ඔහුව වැඩ තහනම් පසුව අනිවාර්ය විශ්‍රාම ගැන්වීම කර තිබේ. මෙම තීරණයට අමතරව දහනායක රජය විසින් සිඩ්නි ගේ සොහොයුරැ මුදල් අමාත්‍ය ස්ටැන්ලි සොයිසාවද කැබිනට්ටුවෙන් ඉවත්කර ඇත්තේද මෙම සිද්ධීන් මාලාව මුල්කොට ගෙනය.
1960 මාර්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට සිඩ්නි සොයිසා පත්කර ඇති නමුත් එම වර්ෂයේම ජූලි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ රජය පරාජය වීම හේතුවෙන් ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම් දුර කාලය මාස හතරකට පමණක් සීමාවිය.
සිඩ්නි සොයිසාගේ පොලිස් රාජකාරි දිවියේ වැඩි කාලයක් ඔහු යොදවා තිබුණේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහාය. 1945 සිට 1955 දක්වා ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබේ. පොලිස් අභ්‍යාස විද්‍යාලය සැබෑ පොලිස් නිලධාරීන් පුහුණු කරන ආයතනයක් බවට පත් කිරීම සම්බන්ධව සිඩ්නි සොයිසා යුගය තුළ ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනු ලැබූ යුගයක් ලෙස සැලකේ. පොලිස් විදුහලේ සියලුම යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම නීතිගරුක පෞරුෂයකින් යුත් පොලිස් නිලධාරියෙකු බිහිකිරීම සම්බන්ධවද ඔහු විසින්ම සංවිධානය කර ඇති පුහුණු පාඨමාලා හේතුවෙන් 40 සහ 50 දශකයන් තුල ඉතා විශිෂ්ට පොලිස් නිලධාරින් රාශියක් පොලිස් සේවාවට බිහිවිය. ඒ මෙවැනි කාර්යශූර දක්ෂ මෙන්ම නිර්භීත නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව හේතුවෙන් බව සඳහන් කළ යුතුමය.
40-50 දශකයන්හි පොලිස් නිලධාරින් පොලිසියට බඳවා ගැනීමේ මූලික පරීක්ෂණ සියල්ල පොලිස් විද්‍යාලේ අධ්යක්ෂවරයා යටතේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේම පවත්වනු ලැබ තිබේ. මෙවැනි පරීක්ෂණයන් සඳහා සිඩ්නි සොයිසා පෞද්ගලිකවම සහභාගි වී ඇති අතර සෑම අතින්ම සුදුසු පොලිස් නිලධාරින් පමණක් සේවයට බඳවා ගැනීම මෙවැනි සම්මුඛ පරීක්ෂණ ඔහු විසින්ම පෞද්ගලිකව පැවැත්වීමට හේතු වන්නට ඇති.
මෙම වකවානුවේ මීරිගම ප්‍රදේශයේ වැදගත් පවුලක තරුණයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිසියට බැදීම සඳහා ඉල්ලුම් කර තිබේ. අවශ්‍යය අධ්‍යාපන සහ ක්‍රීඩා සුදුසුකම් සියල්ල ඔහු සපුරා තිබූ නමුත් පොඩි පරහකට සිට ඇත්තේ ඔහුගේ පපුව ගැසට් පත්‍රයේ සඳහන් කර තිබූ අවම අඟල් ප්‍රමාණයට වඩා අඟල් භාගයකින් අඩුවීමය මේ හේතුවෙන් පළමු ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන්ම ඔහු අසමත් වීමය. පාරම්පරික එක්සත් ජාතික පක්ෂ පවුලකින් පැවත එනු ලැබූ මෙම තරුණයාගේ දෙමව්පියන් එවකට ඩී එස් සේනානායක රජයේ අමාත්‍ය ධුරයක් දැරූ ඩඩ්ලි සේනානායක අතර තිබූ සමීප සම්බන්ධතාවය මුල්කොට පළමු ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් තරුණයා ඒ සඳහා නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම කර ඇත. අභියාචනයට අනුව අයදුම්කරු නැවත ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබූ අතර මෙවර ඔහු එම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට ගොස් ඇත්තේ ඩඩ්ලි සේනානායක අමාත්‍යවරයා විසින් සිය පාසල් මිතුරකුු මෙන්ම ටෙනිස් ක්‍රීඩාවේ ප්රතිමල්ලව පාර්ශවකරුද වූ සිඩ්නි සොයිසා අමතමින් ලියන ලද පෞද්ගලික ලිපියක්ද රැගෙනය.
තරුණයා රැගෙන ගිය ලිපිය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබූ ස්ථානයේ සිටි ලිපි කටයුතු භාර පොලිස් නිලධාරියා වෙත බාර දෙනු ලැබූ තරුණයා සිය ශරීර යෝග්‍යතාවය පරීක්ෂණය සඳහා නැවත පෙනී සිටි නමුත් එම අවස්ථාව වන විටත් අවශ්‍ය කරන පපුවේ ප්‍රමාණය තරුණයා සතුව තිබී නැත. මෙම තත්ත්වය පපු මැනීම භාරව සිටින සැරයන්වරයා විසින් සිඩ්නි සොයිසා වෙත දන්වා ඇති අතර මේ අවස්ථාවේදී ඩඩ්ලි සේනානායක අමාත්‍යවරයා විසින් ඔහු වෙත වෙත යොමු කර තිබූ ලිපිය අයදුම්කාර තරුණයා වෙතින් භාරගනු ලැබූ පොලිස් නිලධාරියා සොයිසාගේ අවධානයට යොමු කර ඇත. ඉංග්‍රීසියෙන් සටහන් කර තිබූ ඩඩ්ලිගේ ලිපියේ සිංහල අනුවාදය මෙසේය.
මා හිතවත් සිඩ්නි
මෙම ලිපිය රැගෙන එන තරුණයා මීරිගම ආසනයේ පදිංචි මට ඉතා හිතවත් පවුලකින් පැවත එන අයෙකි පොලිස් සේවාවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස බැඳීම සඳහා ඔහු අයදුම් කර ඇති අතර ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදී එම තනතුරට පත් කර ගැනීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි
මෙයට හිතවත්
ඩඩ්ලි
ස්වල්ප මොහොතක් ලිපිය කියවා බැලූ සිඩ්නි මුලින් තරැණ අයදුම්කරැගේ පපුව මනිනු ලැබූ සැරයන්වරයාට නැවත ඇදුම්කරුගේ පපුව මනින ලෙස නියෝග කර ඇත. දෙවන වරටද පපුව මැනීම සිදු කළ සැරයන්වරයා ඔහුට දන්වා ඇත්තේ මුල් අවස්ථාවේ සිදු කළ මැනීම නිවැරදි බවයි එවිට සිද්ධි සොයිසා නැවත සැරයන්වරයා අමතා
“දැන් මේ ලියුම තියලා ආයෙ මැනල බලනවා ” යැයි සැරයන්වරයාට නියෝග කර ඇත
තම ස්වාමියාගේ නියෝගය කෙරෙහි තරමක් කුතුහලයෙන් බැලූ සැරයන්වරයා සොයිසාගේ හැටි දන්නා බැවින් ලිපිය රැගෙන අයදුම්කරුගේ පපුව සහ ටේප් පටිය අතර ඩඩ්ලිගේ ලිපිය රදවා නැවත මැනීම කර ඇති අතර ඒ අවස්ථාවේදී ලැබී ඇත්තේ මුල් මිනුම් ප්‍රමාණයම බව ඔහුට පැවසීය.
ඒ අවස්ථාවේදී අයදුම්කාර තරුණයා වෙත හැරුණු සිඩ්නි ඔහුට ඉංග්‍රීසියෙන් පවසා ඇත්තේ
“හිතවත් තරුණය ඔබ ගිහින් මගේ මිතුරු ඩඩ්ලිට කියන්න එයාගේ ලියුම ඔබගේ පපුවේ ප්‍රමාණය වැඩි කරන්නට සමත් නැහැ කියලා”
(My dear young man you go and tell my friend Dudly his letter not influential enough to increse your chest measurment”)
මෙම සිද්ධිය බොහෝ විට අපේක්ෂක තරුණයාගේ දෙමව්පියන් ඩඩ්ලිට කියන්නට ඇත එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා මෙන්ම අමාත්යවරයෙකුදවූ ඩඩ්ලි ඒ සම්බන්ධව සිඩ්නිට අඩන්තේට්ටම් කිරීමට ගියේ නැත.එසේම රාජ්‍ය නිලධාරියකු ලෙස සිඩ්නිද අමාත්‍යවරයෙකු මෙන්ම තම හිතවතෙකුද වූ පසුව අග්‍රාමාත්‍ය ධුරයට පවා පත්වූ ඩඩ්ලිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කොන්ද පණ තිබූ පොලිස් කාරයකු ද විය. ඒ කාලේ අපේ රටෙහි පැවත ඇත්තේ එවැනි මහත්මා දේශපාලනයක් මෙන්ම ගෞරවනීය රාජ්‍ය සේවාවකි.
