
ධනවත් රත්‍රන් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් කෝටි 8කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රන් කිලෝග්‍රෑම් 2ක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලට අනුව, සැකකාර නිලධාරීන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී 2023 මාර්තු 18 වනදා මෙම කොල්ලකෑම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත.
පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි පිරිසක් විසින් රත්‍රන් ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් මරණීය තර්ජන එල්ල කරමින් රත්‍රන් තොගය කොල්ලකා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනකට ආසන්න කාලයක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර නිලධාරීන් පස්දෙනා පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර සිටින උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙල්ලාවෙලි පොලිසියේ රාජකාරි කරමින් සිටියදීය. එමෙන්ම සැරයන්වරයා කොබෙයිගනේ පොලිසියේද, සෙසු කොස්තාපල්වරුන් බදුල්ල, තෙලිකඩ සහ සෙවනගල පොලිසිවල රාජකාරි කරමින් සිටියදීද අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලකන ලද රත්‍රන් තොගය මෙතෙක් සොයාගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, එදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමටද නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
