
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමට කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක දඩ මුදල අය කර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සිය ස්ථාවරය සති දෙකක් ඇතුළත දැනුම්දෙන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.
ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
2018 වසරේදී කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි සහ යන්ත්ර සූත්ර ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රුපියල් මිලියන 54ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කුසුමදාස මහානාම මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටී.
අධිකරණය ඔහුට නියම කළ දඬුවමට අමතරව රුපියල් මිලියන 20ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කර තිබූ අතර, එම දඩ මුදල අය කර ගැනීමේ ක්රමවේදය මෙම නඩුවේදී මතු වූ ප්රධාන නීතිමය ගැටලුවක් බවට පත්ව ඇත.
විත්තිකරු විසින් තමන්ට අදාළ දඩ මුදල ගෙවීමට ප්රමාණවත් වත්කම් නොමැති බව බන්ධනාගාර බලධාරීන් වෙත දැනුම් දී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ සඳහන් කර ඇත්තේ මුල් තීන්දුව ප්රකාශ කිරීමේදී දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවට පැනවිය යුතු අමතර සිර දඬුවමක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බවයි.
එවැනි තත්ත්වයක් යටතේ දඩ මුදල නොගෙවීම හේතුවෙන් අමතර සිර දඬුවමක් නියම කිරීමට මේ අවස්ථාවේදී අධිකරණයට නීතිමය බලයක් නොමැති බවද විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබේ.
ඒ අනුව, මෙම දඩ මුදල අය කර ගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු නීතිමය ක්රියාමාර්ග පිළිබඳ සිය ස්ථාවරය සති දෙකක් ඇතුළත දැනුම්දෙන ලෙස අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර ඇත.
