භාණ්ඩාගාරයෙන් ප්‍රංශ ණය ලිපිගොනුවකුත් අතුරුදන්!


ඉදිරියේ දී ප්‍රංශ රජයට ගෙවීමට නියමිත ණය වාරිකයක ලිපි ගොනුවක් මෙලෙස අතුරුදන් වී ඇතැයි මූලික විමර්ශන වල දී අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ඩොලර් මිලියන 2.5 ක් භාණ්ඩාගාරයෙන් කොල්ල කෑ හැකර්වරුන් මෙම ලිපිගොනුවට ද ප්‍රවේශය ලබා ගනිමින් මකා දමන්නට ඇති බවත් තවත් කොල්ලකෑමක් සිදු කිරීමේ අරමුණින් හැකර්වරුන් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවත් විමර්ශකයන් විශ්වාස කරන්නේ යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ සයිබර් අපරාධ විමර්ශන කණ්ඩායමක් විසින් විමර්ශන මෙහෙයවනු ලබන බවත් හැකර්කරුවන් කොල්ල කෑ ඩොලර් මිලියන 2.5 ක ගෙවීම සිදු කළ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් එම විමර්ශන කණ්ඩායම පසුගියදා සිය බාරයට ගෙන රැගෙන ගිය බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශ දත්ත ගබඩාවට ඇතුළුවීමට හැකර්වරුන්ට අභ්‍යන්තරයෙන් සහායක් ලැබුණාදැයි යන කරුණ පිළිබඳව ද සොයා බැලෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා කොල්ලකෑම පිළිබඳව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය විද්‍යුත් ලිපිනවලට තෙවැනි පාර්ශ්වයකට ඇතුළුවීමට හැකිවීම ගෙවීම සිදු කරන නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය පෙන්නුම් කළ අවස්ථාවක් විය හැකි බවයි. විමර්ශනය සියලු පැතිකඩ ඔස්සේ සිදුකෙරෙහ බවත් ඒ අතර සිතාමතා මෙවැනි තත්වයක් ඇති කිරීමට කිසිවකුට වුවමනාවක් තිබුණා ද, කොල්ලකෑම පිටුපස දේශපාලන පැති කඩක් තිබෙනවා ද යන කරුණු ද තිබෙන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එසේම නැවතත් මෙවැනි දේ සිදුවීම වැළැක්වීම සඳහා රජය අමතර ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ඔහු පැවැසුවේය. මෙවැනි කොල්ලකෑමක් නැවත සිදුවීමට කිසිඳු ඉඩක් නොමැරී බවත් ඉදිරියේ දී සිදු කරන සියලුම මුදල් ගෙවීම් මහ බැංකුවේ අනුමැතිය මත පමණක් සිදුවනු ඇති බවත් නියෝජ්‍ය මුග් අමාත්‍යවරයා පැවැසුවේය.

විමර්ශන වලට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ද හිමිවන බව ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්