
ටෙලිකොම් ක්ෂේත්රයේ යහපත් අත්දැකීම් මත පදනම් ව, අලුත් සමාගම් වලට ඉඩ දුන් සැනින් ඉන්ධන සහ විදුලිය වැනි අනෙකුත් යටිතල පහසුකම්වලද මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි සමහරු අපේක්ෂා කරති.
ක්ෂණික මිල ගණන් අඩු වීමක් පෙනෙන්නට නැති විට, වෙළෙඳපොළ නිදහස්කරණය වැරදි බව ප්‍රකාශ කරති. යටිතල පහසුකම් කර්මාන්තවල තරගකාරිත්වය ක්‍රියාත්මක වන ආකාරය සහ අඩු මිල ගණන් ලබා ගැනීමට කළ යුතු දේ පැහැදිලි කිරීමට මෙම ලිපිය මගින් උත්සාහ කෙරෙයි.
තරගය සඳහා පූර්ව කොන්දේසි
හරය ලෙස ගත් විට, තරගකාරිත්වය යනු පාරිභෝගික තේරීම ය: ඔබ පිරිනමන මිල-ගුණාත්මක එකතුවට (price-quality bundle) මා අකමැති නම්, මම වෙනත් බෙදාහරින්නෙකු වෙත යන්නෙමි. මෙය ක්‍රියාත්මක වීමට නම්, විකල්ප බෙදාහරින්නන් සිටිය යුතු ය; ඔවුන් පිරිනමන මිල-ගුණාත්මක එකතු කැපී පෙනෙන ලෙස වෙනස් විය යුතු ය. දිගින් දිගටම පාඩු විඳගැනීමට බැරි බෙදාහරින්නෙකුට මිල-ගුණාත්මක එකතු වෙනස් කිරීමට හෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට බල කෙරෙනු ඇත. තරගකාරිත්වය පවතින විට, මිල අඩු වීම හෝ, ගුණාත්මකභාවය වැඩි වීම හෝ, නැතහොත් ඒ දෙක ම හෝ සිදුවනු ඇත. එය පරමාදර්ශි තත්ත්වය යි. විශේෂයෙන් යටිතල පහසුකම් කර්මාන්තවල බොහෝ ව්‍යතිරේක පවතී.
2003 දී ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සමාගමට ඇතුළුවීමට අවසර දෙන තෙක්, පළමු කොන්දේසිය සපුරා නොතිබිණි; එක ම බෙදාහරින්නා වූයේ සිපෙට්කෝ ය. දැන් සිපෙට්කෝ සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් 900 කට ආසන්න සංඛ්‍යාවක් ඇත; ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) පිරවුම් හල් 250 කට වඩා; සහ සයිනොපෙක් සහ ආර්එම් පාර්ක් (ෂෙල්) සමාගම්වලට 150 බැගින් හිමි ය.
2003 දී ලංකා ඛනිජ තෙල් ගබඩා සහ පර්යන්ත සමාගම (CPSTL) විසින් කළමනාකරණය කරන ලද පොදු පහසුකම්වලින් කොටසක් සහ ත්‍රිකුණාමලයේ තමන්ගේ ම ගබඩා LIOC වෙත ලබා දෙන ලදී. පසුව ඇතුළත් වූවන්ට CPSTL හි කොටස් ලබා නොදුන් නමුත් පහසුකම් (පර්යන්ත, කොළොන්නාව සහ මුතුරාජවෙල ගබඩා ටැංකි සහ කලාප, නල මාර්ග සහ බවුසර් බලඇණිය) භාවිතා කිරීමට ඉඩ සලසා තිබේ.
ආරම්භයේ දී, රජය විසින් නියම කරන ලද සිපෙට්කෝ මිල ගණන් අනුගමනය කිරීමට LIOC හට නියම කරන ලද අතර තරග කළේ ගුණාත්මකභාවය මත පමණකි. කාලයත් සමඟ, ගිවිසුම් වල දී මෙම රීතිය ලිහිල් කරන ලද නමුත්, මිල නියම කිරීමේ ගැසට් පත්‍රයේ සඳහන් දේ පැහැදිලි නොවී ය. සයිනොපෙක් හි මෑත කාලීන ක්‍රියාමාර්ගවලින් පෙනී යන්නේ, අලුත් සමාගම් මිලකරණ ස්වාධීනත්වය ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇති බව යි.
බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගත් කල, නව සමාගම්වලට ඇතුළුවීමට ඉඩ දීමට හේතුව වූයේ ආනයනය සහ ආනයන සඳහා අරමුදල් සැපයීම විවිධාංගීකරණය යි. සෑම බෙදාහරින්නෙකු ම තමන්ගේ ම ආනයන කළමනාකරණය කරනු ඇති අතර විකුණුම් වලින් උපයන රුපියල් ආදායම භාවිතා කරමින් විදේශ විනිමය ලබා ගැනීමෙන් ඒවා සඳහා ගෙවීම් කරනු ඇත.
නමුත් සිපෙට්කෝ හැරුණු විට, ඉන්ධන ගබඩා කරන ටැංකියේ සිට පාරිභෝගිකයා දක්වා එහි සම්පූර්ණ සැපයුම් දාමය පාලනය කළ හැක්කේ LIOC සමාගමට පමණකි. ඔවුන්ට ත්‍රිකුණාමලයේ තමන්ගේ ම ගබඩාවක් ඇති අතර සමාගම නියෝජනය කරමින් තිදෙනෙකු CPSTL අධ්යක්ෂ මණ්ඩලයේ සේවය කරන බැවින් වරායේ සිට ගබඩාව දක්වා සිදුවන දේට බලපෑම් කිරීමේ හැකියාව ඇත. අනෙක් සමාගම්, සේවා නොමැති ප්‍රදේශවල LIOC සමාගම කරන ආකාරයට ම CPSTL වෙතින් ගාස්තුවක් ගෙවා සේවාවන් ලබා ගනී.
විවිධ සමාගම් සතු ඉන්ධන පොදු ගබඩා ටැංකිවල ගබඩා කිරීම ලොව පුරා දක්නට ලැබෙන සංසිද්ධියකි. විවිධ සමාගම් විවිධ ප්‍රදේශවල ටැංකි ඉදිකර ඇති තැන්වල, හුවමාරු සහ පියවීම් විධිවිධාන තිබීම සාමාන්‍ය දෙයකි. තරගකාරිත්ව බලධාරීන්ගේ අධීක්ෂණය සාමාන්‍ය දෙයක් වුව ද, මෙම භාවිතයන්හි සහජයෙන් ම තරගකාරි විරෝධී කිසිවක් නොමැත.
මිලකරණය
2002 ට පෙර සිල්ලර මිල ගණන් පොම්පයේ පින්තාරු කර තිබිණි. ඒකාධිකාරය යටතේ මිල ගණන් ස්ථිතිකව පැවතියේ එලෙසිනි. බෙදාහැරීම් ස්ථාන අශෝභන විය; භාවිතා කළ හැකි වැසිකිළියක් සොයා ගැනීම දුර්ලභ විය. LIOC පැමිණීමත් සමඟ මේ සියල්ල වෙනස් විය. ප්‍රතිසංස්කරණ සැලැස්මට සමාගම් තුනක් ඇතුළත් වූ නමුත්, 2004 දී ප්‍රතිසංස්කරණ මෙහෙයවූ ආණ්ඩුව පරාජයට පත් වූ විට තරගකාරී ලෙස තෝරාගත් සයිනොපෙක් සමාගම ඉවත් ව ගියේය. වෙළඳපළ කොටසට සමානුපාතිකව CPSTL සමාගම සමාගම් තුන සතු විය යුතු ව තිබිණි. තුන්වන සමාගම ඇතුළත් වූයේ නම්, CPSTL රජය සතු සමාගමක් වීම නතර වනු ඇත. සිල්ලර මිල තරගකාරිත්වයක් නොමැති විට පවා, LIOC සහ අතිරේක ප්‍රවේශයක විශ්වසනීය තර්ජනය හේතුවෙන් සිපෙට්කෝ සමාගම නවීන පොම්ප ආදිය සඳහා ආයෝජනය කරමින් සේවාව වැඩිදියුණු කිරීමට හේතු විය.
ඉන්ධන මිල සූත්‍රය (පළමුව 2018 දී ක්‍රියාත්මක කරන ලද අතර, ගෝඨාභය රජය විසින් අත්හිටුවන ලද නමුත් පසුව 2022 දී නැවත සක්‍රීය කරන ලදී) සාමාන්‍යයෙන් තරගකාරි වෙළඳපොළවල ක්‍රියාත්මක නොවේ. ප්රමුඛ සමාගම රජය සතු වූ විට, බදු ගෙවන්නන් මත බර පැටවීම වැළැක්වීම සඳහා මිලකරණයට එමගින් යම් විනයක් ඇතුළත් කළ හැකි ය. නාස්තිකාර රජයයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්වලට එළඹෙන විට, මෙම අංගය කොන්දේසියක් බවට පත් කිරීමට නැඹුරුවක් පවතී. ශ්‍රී ලංකාවේ මෑත කාලීන විස්තීර්ණ අරමුදල් පහසුකම් සම්බන්ධයෙන් ද මෙය සිදු විය
දැඩි අයවැය සීමාවන් ඇති සමාගම් (සිපෙට්කෝ හැර අනෙක් සියල්ල) CIF [පිරිවැය, රක්ෂණය, භාණ්ඩ ප්‍රවාහනය] සහ බදු වල එකතුවට වඩා අඩුවෙන් මිල නියම කිරීමට කැමති නොවනු ඇත. මෙම අංග බොහෝ දුරට සමාගමේ පාලනයෙන් පිටත පවතී. එක් ව්‍යතිරේකයක් විය හැක්කේ කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීමේ සහ ස්ථානීය වෙළඳපොලේ ගනුදෙනු කිරීමේ කුසලතාව විය හැකි අතර එය විශාලතම පිරිවැය සංරචකයට බලපෑ හැකි ය. දූෂණය සඳහා විශාලතම විභවය ඇත්තේ මෙම අංගයට ය: කොන්ත්‍රාත් මිල ගණන්වලට අල්ලස් ඇතුළත් කළහොත්, දූෂණය අදෘශ්‍යමාන වනු ඇති අතර, අයථා ලෙස උපයාගත් මුදල් විදේශයන්හි රැඳවීම සාපේක්ෂව පහසු වනු ඇත.
බොහෝ රටවල බෙදාහරින්නන් ගණනාවක් සිටියත්, ඉන්ධන බෙදා හැරීමේ දී සැබෑ තරගකාරිත්වයක් නොපවතී. පාරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයට අනුව, ගනුදෙනු පිරිවැය (transaction costs) හේතුවෙන් සියලු ම ඉන්ධන පිරවුම්හල් සමානව ස්ථානගත වී නොමැත. උතුරු ඇමරිකාවේ ඇතැම් ස්ථානවල, ඉන්ධන පිරවුම්හල් 3-4ක් මංසන්ධියක හෝ ආසන්නයේ පිහිටා ඇති අතර, එහි දී තරගකාරිත්වයට වඩාත් සමීප තත්ත්වයක් පැවතිය හැකි ය. ඔවුහු දුර සිට පෙනෙන විශාල අකුරු වලින් මිල ගණන් පෙන්වීමට නැඹුරු වෙති. විකල්ප සඳහා අමතර රිය පැදවීමක් ඇතුළත් නොවන නිසා, මිල අඩු මට්ටමක තබා ගැනීමට සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක තබා ගැනීමට පීඩනයක් පවතී. නමුත් අමතර ධාවනයක් අවශ්‍ය වන විට පවා, තරගකාරී පීඩනයන් මිල ගණන් එක ම පරාසයක පැවතීමට හේතු වේ.
ඉහත විස්තර කර ඇති තරගකාරිත්වයේ අසම්පූර්ණකම සහ වරාය පර්යන්ත, නල මාර්ග සහ ගබඩා ටැංකි වැනි අත්‍යවශ්‍ය පහසුකම්වල පැවැත්ම සැලකිල්ලට ගෙන, 2002 දී නියාමනය කෙරෙහි අවධානය යොමු කරන ලදී. නමුත් 2003 දී පිහිටුවන ලද මහජන උපයෝගිතා කොමිසමට අවම, තරගකාරිත්වය කේන්ද්‍ර කරගත් නියාමනයක යෙදීමට බලය ලබා දෙන ඛනිජ තෙල් පනතක් තවමත් බිහි වී නොතිබිණි. අත්‍යවශ්‍ය පහසුකම් මත බලය උත්තෝලනය කිරීමට එරෙහි පළමු ආරක්ෂාව වූයේ සියලු ම බෙදාහරින්නන් විසින් CPSTL හිමිකාරීත්වය ලබා ගැනීම යි. එම යාන්ත්‍රණය පවා සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැත. සයිනොපෙක් සහ ෂෙල් සඳහා වෙළඳපොළ විවෘත කළ විට, CPSTL සඳහා මුල් සැලසුම නැවත පණ ගැන්වීමට කිසිදු උත්සාහයක් නොගන්නා ලදී. කොවිඩ් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ සේවකයින්ට අධික අතිකාල ගෙවීම් මගින් පෙන්නුම් කරන පරිදි, CPSTL හි ප්‍රධාන කාර්යය වන්නේ එහි සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා ආදායම් ලබා ගැනීම යි. නව නල මාර්ග සහ ටැංකි සඳහා ආයෝජනය ඉතා අල්ප ය.
2002 ට පෙර ඒකාධිකාරයට වඩා තවමත් හොඳ නමුත්,. වත්මන් කර්මාන්ත ව්‍යුහය බෙහෙවින් අසම්පූර්ණ ය. සීමිත තරගකාරී මිලකරණය අවම කිරීම සඳහා ගත හැකි ව්‍යුහාත්මක පියවර ගෙන නොමැත. 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිසන් සභා (PUCSL) පනතේ ඇති සැලකිය යුතු තරගකාරිත්ව බලතල භාවිතයට නොගෙන පවතින්නේ කර්මාන්තය නියාමනයකට යටත් කර නොමැති බැවින් ය.
නිගමනය
විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගත් කල, යහපත් ප්‍රතිඵල ලබා දීම සඳහා ප්‍රතිසංස්කරණයේ කොටස් තුනක් අනුපූරක ආකාරයකින් ක්‍රියාත්මක විය. 1996 දී තරගකාරි ස්ථාවර රැහැන් රහිත ක්‍රියාකරුවන් දෙදෙනෙකුට බලපත්‍ර ලබා දෙන ලදී. ඔවුහු විශේෂයෙන් ලාභදායී ආයතනික අංශය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) වෙනුවට ශක්‍ය විකල්ප ලබා දුන් අතර සිටි සැපයුම්කරු මත බාහිර පීඩනයක් ඇති කළහ. 1997 අගෝස්තු මාසයේ දී, ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් 38.5% ක් විකුණා, NTT සමාගම සමඟ කළමනාකරණ ගිවිසුමකට එළඹුණු අතර, එය සමාගම් සංස්කෘතියේ අභ්‍යන්තර වෙනස්කම් වලට තුඩු දුන්නේය. සංශෝධනයක් හරහා නියාමකයාට වැඩි බලතල ලබා දුන් අතර ගාස්තු සහ සේවාවේ ගුණාත්මකභාවය ඇතුළු කරුණුවල දී නියාමකයා ආක්‍රමණශීලීව ක්‍රියා කළේය. එමගින් තරගකරුවන්ට ක්‍රියා කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර සහ දේශීය ආදායම් ප්රවාහයන් නැවත තුලනය කළේය.
ඊට අමතරව, විශාල චීන සහ ඉන්දියානු වෙළඳපොළවල වර්ධනයන් හේතුවෙන් ක්‍රියාකරුවන්ට සහ පාරිභෝගිකයින්ට යන දෙපාර්ශවයට ම සම්බන්ධතාවයක් සඳහා වන පිරිවැය වේගයෙන් පහත වැටිණි. මෙහි ඒකාබද්ධ බලපෑම සියලු ම ක්‍රියාකරුවන් විසින් අඩු මිල ගණන් ලබා දෙන නව ව්‍යාපාර ආකෘති ක්රියාවේ යොදවනු ලැබීමට හේතු විය.
ඉන්ධන බෙදා හැරීමේ කර්මාන්තය තුළ, සීමිත ප්රවේශයකට ඉඩ දීම හැර වෙනත් දේ කර නැත. ප්‍රතිසංස්කරණ සම්පූර්ණ නොකළහොත්, කෙටි කාලීනව අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇත. නමුත් සීමිත තරගකාරී මිලකරණ උපාය මාර්ගවලින් ඉවත් වීමෙන් පෙන්නුම් කරන පරිදි, අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ක්‍රියාමාර්ග නොමැති වුව ද, ක්රමානුකූල ලෙස වැඩි වන ප්‍රගතියක් ලබා ඇත.
උපුටා ගැනීම The Leader Lk
