
මැදපෙරදිග කලාපයේ සති තුනකට අධික කාලයක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ “Global Agrifood Implication of the 2026 Conflict in the Middle East” නමැති නවතම වාර්තාව හරහාය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන ආකාරයට පර්සියානු ගල්ෆ් කලාපය ලෝකයේ ප්‍රධාන පොහොර නිෂ්පාදන හා අපනයන මධ්‍යස්ථානයක් වන බැවින්, එහි ඇතිවූ ගැටුම් ගෝලීය සැපයුමට සෘජුව බලපා ඇති බවයි.
විශේෂයෙන් ඉරානය, කටාරය, සෞදි අරාබිය සහ ඕමානය යන රටවල් ලෝකයේ ප්‍රධාන නයිට්‍රජන් පොහොර අපනයනකරුවන් අතරට අයත් වන අතර, ඔවුන් ආසන්න වශයෙන් යුරෝපා අපනයෙන් 30%ක් 35%ක් හා ඇමෝනියා අපනයනයෙන් 20%ක් 30ක් සපයන බවද වාර්තාව සඳහන් කරයි.
කෙසේවෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තාවකාලිකව වසා දැමීමත් සමඟ පොහොර රැගත් නෞකා ගමන් නතර වී ඇති අතර, සැපයුම් දාමය බිඳ වැටී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන්, පොහොර හිඟය, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ඵලදාව අඩු වීම යන ගැටලු ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලද දැඩිව පෙනී යන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි.
යුද්ධය ආරම්භ වූ පෙබරවාරි අවසානයට සාපේක්ෂව, මාර්තු මැද වන විට ලෝක වෙළෙඳපොළේ යූරියා මිල 20%කට ආසන්න ලෙස ඉහළ ගොස් ඇත. එමෙන්ම 2026 පළමු අර්ධයේදී පොහොර මිල 15% 20% අතරින් තවදුරටත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළ කරයි.
ශ්‍රී ලංකාව ගල්ෆ් රටවලින් විශාල වශයෙන් පොහොර ආනයනය කරන අතර, කටාරයෙන් ඩොලර් මිලියන 30.29ක්, ඕමානයෙන් ඩොලර් මිලියන 14.90ක්, බහරේනයෙන් ඩොලර් මිලියන 12.98ක් වටිනා පොහොර 2024 වසරේදී පමණක් ආනයනය කර ඇත.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවන්නේ, ගල්ෆ් කලාපයෙන් ලැබෙන ඉල්ලුමේ අස්ථාවරත්වය, හා නෞකා ප්‍රවාහන ප්‍රමාද හේතුවෙන් අපනයන ආදායම් අඩු වන බවයි. එමෙන්ම එම කලාපයේ සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල්ද අඩුවීමේ අවදානමක් පවතී.
අඩු ආදායම් සහ ආහාර ආනයනය මත රඳා පවතින රටවල් සඳහා මෙම තත්ත්වය දැඩි බලපෑමක් ඇති කරන බවත්, ණය බරතාව සහ ආහාර අනාරක්ෂිතතාව තවදුරටත් වැඩි විය හැකි බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම, මැදපෙරදිග ගැටුම්වලින් ඇති වූ මෙම ආර්ථික කම්පනය කලාපය ඉක්මවා ලෝකයේ රටවල් රැසකටම මානුෂීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
ලංකාදීප පුවත් පතේ පළවූ පුවතක් ඇසුරෙන් සකසන ලද්දකි.
