නීතිඥවරියකගේ වෘත්තීය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (16) තීන්දු කර ඇත. නීතිඥ වෘත්තීය ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඇය වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.

එමෙන්ම අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු කරමින්, වසරක සිරදඬුවමක් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කර ඇති අතර, එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් අමතරව මාස හයක සිරදඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් වන අතර, විනිසුරුවන් වන අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුගේ එකඟත්වයද හිමිව තිබේ.

මෙම නඩුවට අනුව, 2023 ජූලි 27 දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි සිදු කිරීම සම්බන්ධයෙන් එම නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා විභාග කිරීමේදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇය නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි. එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් ඇය නැවතත් නීතිඥ වෘත්තියේ නිරත වූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ද ගොනු කර ඇත.

මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කළ ඇය, පසුව චෝදනා පිළිගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ, මෙම ක්‍රියාව නීතිඥ වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවයි.

ඒ අනුව, ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කර ඇති අතර, එම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට ද දැනුම් දෙන ලෙස නියම කර ඇත.

තවද, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව ඇඟිලි සලකුණු ලබාදීම සඳහා එම නීතිඥවරිය පොලිස් අපරාධ හා ඇඟිලි සලකුණු කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්