පසුගිය සතියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් දැලේ

අල්ලස හෝ දූෂණයේ යෙදීම චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සතිය තුළ හිටපු හා දැනට සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

 

ගිණි නිවන නිලධාරිධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම – ත්‍රිකුණාමලය

ඒ අනුව පසුගිය මාර්තු 11 වන දින, රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු සහ ගිණි නිවන භටයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කන්තලේ නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හලක් වෙත 2026 වර්ෂය සදහා ගිණි ආරක්ෂණ සහතිකය ලබා දීම සඳහා අල්ලස් ලෙස මුදලින් රුපියල් 40,000ක් ඉල්ලා එකී මුදල රුපියල් 35,000දක්වා අඩු කර, එයින් රුපියල් 10,000ක මුදලක් බැංකු ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 25,000, මුදලින් රුපියල් 20,000ක මුදලක් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු (ස්ථානභාර නිලධාරී) සහ ගිණි නිවන භටයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

කපිල චන්ද්‍රෙස්න අත්අඩංගුවට ගැනීම

පසුගිය මාර්තු 12 වන දින, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රෙස්න මහතා  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර කළ බව වාර්තා වී තිබුනි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ වංචාවක් සම්බන්ධයෙනි.

චන්ද්‍රෙස්න මහතා ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිල දී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳ නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් මුදල් ලෙස European Aeronautic Defense and Space Company නම් සමාගම වෙතින් යුරෝ 1,454,645.54 ක මුදලක් ලබාගෙන තමාගේ ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමකට බැර කිරිම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ලෙස සැලකේ.

 

ප්‍රජා විශෝධන නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම – වාලච්චේන

පසුගිය මාර්තු 13 වන දින, රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මත ප්‍රජා විශෝධන නිලධාරියෙකු වලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට දඩුවම් වශයෙන් පැය 200ක කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට කළ නියෝගයට අනුව එසේ ප්‍රජා සේවයේ නිසියාකාරව නොයොදන බව පවසා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබා ගත හැකි බවත්, එසේ වරෙන්තු නොගෙන සිටීම වෙනුවෙන් රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

Social Sharing
නවතම පුවත්