
මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකුගේ මූලික අයිතිවාසිකම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනෙකු විසින් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ (12) තීන්දු කළේය. ඒ අනුව එම නිලධාරීන්ට තම පෞද්ගලික අරමුදල්වලින් පෙත්සම්කරුට වන්දි ගෙවීමට අධිකරණය නියෝග කර ඇත.
අධිකරණය නියෝග කළේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නිලධාරීන් හත් දෙනා එක් එක් අය රුපියල් 75,000 බැගින් ගෙවමින් සමස්ත වශයෙන් රුපියල් 525,000ක වන්දි මුදලක් මාස තුනක් ඇතුළත පෙත්සම්කරුට ගෙවිය යුතු බවයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ මිදිගම ප්‍රදේශයේ අවන්හලක හිමිකරු වන දිනේෂ් ප්‍රියදර්ශන දොඩන්ගොඩ විසිනි. ඔහු චෝදනා කර තිබුණේ 2023 ජනවාරි 2 සිට ජනවාරි 4 දක්වා කාලය තුළ සුරාබදු නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස තමන් අත්අඩංගුවට ගෙන පහර දී අමානුෂික ලෙස සැලකූ බවයි.
පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී තිබුණේ, තම අවන්හලෙන් පිටත සිදු වූ කලබලයක් පිළිබඳව සීසීටීවී කැමරා මගින් පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් කිහිප දෙනෙකු තම සේවකයින්ට පහර දෙන ආකාරය දක්නට ලැබුණු බවයි. එහිදී එම පුද්ගලයින් තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් අවන්හලට කඩා වැදුණු බවත්, අනතුරුව තමන්ට බැටන් පොලු සහ කොස්සකින් පහර දී ඇඳ ඇතිරිල්ලකින් ඇස් බැඳ අත් පිටුපසට බැඳ තබාගෙන ප්‍රශ්න කළ බවත් ඔහු කියා සිටියේය.
ඔහු තවදුරටත් පැවසුවේ, තම සන්තකයේ තිබූ විස්කි බෝතල් පිළිබඳව නිලධාරීන් විසින් නැවත නැවතත් ප්‍රශ්න කළ බවයි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු සම්පත් බී. අබයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ප්‍රකාශ කළේ, නිලධාරීන්ගේ ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව පිළිබඳ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.
ඒ අනුව අධිකරණය වගඋත්තරකරුවන් හත් දෙනා එම උල්ලංඝනය සඳහා වගකිව යුතු බව තීරණය කරමින්, ඔවුන්ගේ පෞද්ගලික අරමුදල්වලින් වන්දි ගෙවීමට නියෝග කළේය.
නියෝගයේ නම් කර ඇති නිලධාරීන් වන්නේ ආර්.ඒ.එන්.ජේ. රණවීර, ජී.ඩී. පුෂ්පකුමාර, ඩබ්ලිව්.එම්.ඩී. ඉන්දික, එම්.ඩී. ගමගේ, ඉරේෂ් කාවින්ද, ජේ.ඒ.ජී.එම්. මධුශංක සහ පී.ටී.සී. ඒකනායක යන අයයි.
මෙම නඩුවේදී පෙත්සම්කරුට අවශ්‍යවන මූලික ලියකියවිලි සකස් කිරීම සඳහා අවශ්‍යවන සහාය ඉමදූව මානව හිමිකම් ප්‍රථමාධාර මාධ්‍යස්ථානයේ ලබා දුන් බවට ද වාර්තා වේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහත්මිය, නීතිඥ ෂැනන් තිලකරත්න සමඟ නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටියාය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.
