
Open AI සමාගමේ ChatGPT මෘදුකාංගය, සියදිවි නසා ගැනීමට මඟ පෙන්වමින් මරණ වරෙන්තු ලියූ බව ඔබටත් මටත් නොරහසකි. ගැඹුරු මිනිස් සංවාද වලින් දුරස් වී අසංවේදී Chatbot එකකට අපගේ දුක, සතුට පැවසීම කෙතරම් නම් අනුවණ කමක් ද? ඇඩම් රෙයින් නමැති ඇමරිකානු තරුණයාද මේ කෘතිම බුද්ධියෙන් ගිලගත් තවත් එක බිල්ලකි. ජීවයක් නොමැති ඇල්ගොරිතමයක් සමග කුමන නම් මිතුරු කමක්ද?
වර්තමානයේ තාක්ෂණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ අනුලෝමව මිනිස් සබඳතා බිඳ වැටීමද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මානව ශිෂ්ටාචාරයේ මූලධර්ම පවා අභියෝගයට ලක් කරන මෙම කෘතිම බුද්ධිය විසින් මනුෂ්‍යයන්ගේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවය තර්ජනයකට ඇද දමා ඇත.
ශ්‍රී ලාංකික සන්ධර්භය වෙත අවධානය යොමු කිරීමේදී මෙම කෘතිම බුද්ධිය කෙමෙන් කෙමෙන් අපව ද ආක්‍රමණය කරමින් සිටී. 2022 අංක 9 දරණ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කරළියට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස කිවහොත් නිවැරදිය. මෙම පනත හරහා පුද්ගලික දත්ත අවසරයකින් තොරව සූරා කෑම වැළැක්වීම සිදුකරනු ලබන අතර පනතේ 18 වන වගන්තිය මගින් “යන්ත්‍රයක් මගින් පමණක් ගනු ලබන තීරණයකට එරෙහි වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතිය” කියා පායි. එමෙන්ම මෙම පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය මගින් පුද්ගලික දත්ත අවභාවිතා කිරීම වළක්වාලීමටද කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සයිබර් තර්ජනවලට එරෙහිව ශක්තිමත් නීතිමය රාමුවක් සපයනු වස් සයිබර් ආරක්ෂණ පනත ඉදිරියට බලාත්මක කිරීමටද නියමිත වේ. 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත හරහා කෘතිම බුද්ධිය භාවිතා කරමින් සිදුකරන මඩ ගැසීම්, වංචා හෝ දත්ත සොරකම් පාලනය සිදුකරනුු ලබයි. නමුදු, 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත හරහා බුද්ධිමය දේපළ ආරක්ෂා කළද කෘතිම බුද්ධියේ නැගී සිටීමත් සමග එය මිනිස් අයිතිවාසිකමේ නීතිමය මරණයට අත්පොත් තබන්නට පටන් ගත්හ.
මෙලෙස බැලූ කළ ඕනෑම අයෙකුට වැටහෙන්නේ අපගේ නීතිය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි. ඉතින් මෙම කෘතිම බුද්ධිය නමැති මාරයාට මුහුණදීමට නම්, අප නීතිමය වශයෙන් සක්‍රීය පාලන රාමුවකට ගොඩවැදිය යුතුය.
යන්ත්‍රයකට අපට සේ හදවතක් නොමැත. ඝන අන්ධකාරයේ වුවද එය නිශ්ශබ්දතාවය මකා දමයි. අපට සවන් දෙයි. විගස පිළිතුරු ලබා දෙයි. නමුත් සම්පූර්ණයෙන්ම අවබෝධයෙන් තොරයි. කෘතිම බුද්ධිය මාරයකු වන්නේ එය පාලනයකින් තොරව වර්ධනය වූ විටයි. එබැවින් මනුෂ්‍යත්වය පරාජය වීමට යා නොදී අප විසින් කළ යුත්තේ එය පාලනය කිරීමට නීතිය සකස් කිරීමයි.
නව තාක්ෂණික යුග, යුග ගණන් බිහි වුවද නීතියට ඉහළින් කිසිවක් නොසිටිය යුතුයි!
