රඹුක්කන පොලිස් ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම 15 දක්වා දීර්ඝ කෙරේ.

 

2022 වසරේ අරගල සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියයාම සහ තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශවයට  කල් ලබා දී තිබේ.

මෙම පෙත්සම් ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ අදාළ පෙත්සම්වලට සම්බන්ධ ප්‍රතිවිරෝධතා මෙතෙක් ගොනු කර නොමැති බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ඇතැම් පෙත්සම්කරුවන් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ප්‍රතිවිරෝධතා සකස් කර ගොනු කිරීමට නොහැකි වූ බවයි. ඒ අනුව වැඩි කාලයක් ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ අදාළ පෙත්සම්වලට සම්බන්ධ ලිඛිත දේශන මේ වන විට ගොනු කර ඇති බවයි.

ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ජූලි මස 15 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ අතර, පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවීමට ද නියම කළේය.

Social Sharing
නවතම පුවත්