රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ PTA යටතේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඊයේ (25) උදෑසන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න සඳහන් කළේ, PTA පනතේ විධිවිධාන අනුව ඔහු පැය 72ක් දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකි බවයි.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කළේ 2019 පාස්කු ප්‍රහාර බෝම්බ ප්‍රහාරවලට අදාළව ලැබී ඇති සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, නියමිත අවස්ථාවක වැඩිදුර තොරතුරු හෙළි කරන බවත්ය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පුද්ගලයෙකු දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හැකි බවත්, පසුව සාක්ෂි මත පදනම්ව රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පැහැදිලි කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී සුරේෂ් සලේගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් තුළින් 2019 පාස්කු ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය විය හැකි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාවට දැනගත යුතු කරුණු පිළිබඳ නියමිත අවස්ථාවලදී දැනුම් දෙන බවද පොලිසිය සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්