සංවර්ධන නිලධාරී ගුරු පත්වීම් ප්‍රශ්නය හා ආණ්ඩුවේ සමාජ සම්මුතිය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීම සදහා විවිධ පාර්ශවයන්ටද පොදු ජනතාවටද නානාවිධ විවිධ පොරොන්දු ලබා දුන්හ. ඒවා එකිනෙක ගැටුණද එක් එක් ක්ෂේත්‍රයන්ට ගැටුණද එම පොරොන්දු පවත්වාගෙන යාමට නායකත්වයක් නොමැති වූ මැද පන්තියට නායකත්වය දුන් ජාජබ මැද පන්තියේ බලවේගයට හැකි විය.

මේ ආර්ථික අර්බුදය තුළ ලබා දුන් පොරොන්දු තුළ තිබූ ජනකාන්ත අදහස නම් මෙතෙක් පැවති සියළු ආණ්ඩු දූෂිතය, ආර්ථික අර්බුදය ටද හේතුව අහිංසක අවංක ජනතාව පාලනය කරන දූෂිත ආණ්ඩුය, මැද පන්තියේ දොස්තරලා, නීතිඥයන්, ආචාර්‍ය මහාචාර්‍යලාගෙන් සැදුම්ලත් ජාජබ තුළ් දූෂනය නැති හා කාර්‍යක්ෂමතාවය වැඩි බැවින් සියළු පොරොන්දු ඉටු කිරීනේ ශක්‍යතාවයක් ඔවුන්ට ඇතය යන්නයි.

කෙසේ වුවද දැන් සිදු වී ඇත්තේ, ආණ්ඩුවේ මේ ජනකාන්ත පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඔවුන් ජනතාව සමග ඇති කරගත් සම්මුතිය දිගින් දිගටම බිද වැටීමය.

ගෝඨාභය මෙන් පොරොන්දු ඉටු කර ජනතා සම්මුතිය රැකීමට ගොස් ආර්ථික අර්බුදයක් කැදවාගන්නවාට වඩා යම් පමණකට එකී සම්මුතිය බිද දැමීම යහපත් වුවද මේ වන විට සිදු වී ඇත්තේ එකී සම්මුතිය මුළුමනින්ම පාහේ බිද වට්ටන තැනකටත් එකී බිද වැට්ටවීම් සම්බන්ධව මහජනයාට කණගාටුව ප්‍රකාශ කරමින් පැහැදිලි කරනු වෙනුවට ජනතාවට උද්දච්ච ප්‍රකාශ වලින් පිළිතුරු දීමය.

සංවර්ධන නිලධාරී ගුරු ප්‍රශ්නයත් ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුව ඔවුන් වෙත ලබා දුන් කල නොහැකි ගුරු සේවා ව්‍යවස්ථාවටද පටහැනි පොරොන්දුව නිසාය.

එක් අතකින් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසදා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවට විපක්ෂයේ සිටියදීද පොරොන්දු වූ ආණ්ඩුව තව පසෙකින් ගුරු සේවා ව්‍යවස්ථාව මායිම් නොකර ගුරු සේවයට බදවා ගන්නා බවට සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වෙයි.

ආර්ථික අර්බුදය අස්සේද පසුගිය රජය ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බදවා ගැනීමට සැලකිය යුතු කාර්‍යභාරයක් සිදු කරන ලද අතර ඒ සෑම බදවා ගැනීමක්ම පාහේ සිදු කලේ අධිකරණ වාරණයන් පනවා ඒවා දැඩි පරිශ්‍රමයකින් ඉවත් කර ගැනීමෙනි. සමස්ත සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීමටද තරග විභාගයක් එම රජය ගැසට් කර පවත්වන්නට ඔන්න මෙන්න තිබියදී එයද පාසල් තුළ සේවය කරන සංවර්ධන නිලධාරීන් පැවරූ නඩුවකින් වාරණය වී කල් දැමුණි.

ගුරු සේවා ව්‍යවස්ථාවද සැලකිය යුතු පරිශ්‍රමයකින් බිහි කර ගනු ලැබූවක් වන අතර එයට අනුව පාසල් තුළ සේවය කල සංවර්ධන නිලධාරීන් තරග විභාගයකින් තොරව ගුරු සේවයට් බදවා ගත නොහැක. මේ දක්වා සියළු ආණ්ඩු ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බදවාගැනීමට කරන ලද සියළු උත්සහයන් පරාජය විය. සංවර්ධන නිලධාරීන්ට වෙනම විභාගයක් පැවැත්වීමද සමස්ත උපාධිධාරීන් විෂයෙහි අසාධාරණ වුවද තරග විභාගයකින් පමණක් බදවා ගත යුතු යැයි සේවා ව්‍යවස්ථාව සදහන් කරන බැවින් සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලබා ගෙන එය කළ හැක.

දැන් මේ පාසල් තුළ සේවය කරා යන පදනමින් ගුරු සේවයට බදවාගැනීමේ ක්‍රම වේදයක් පවතින නීතියේ නැත. එම නිසා පාසල් වල සේවය කරන ලද සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කර මිස සිදු කල නොහැක. යම් හෙයකින් එවැනි උල්ලංඝනය කිරීමක් දිශාගත වන්නේ මීට අවුරුදු 20 කට එහා ගුරු පත් වීම් ලබා දුන් එක් ක්‍රමයක් වූ දේශපාලන හා නිලධාරී අතපෙවීමටය.

දැනට උද්ගත වී ඇත්තේ ආන්ඩුවේ ජන සම්මුතිය හා පවතින නීතිය අතර ප්‍රශ්නයයි. මෙහිදී යුක්තිය කොතනදද යන්න තීරණය කිරීම සමාජයට භාරය.

සටහන දුලාන් දසනායක

Social Sharing
අවකාශය පුවත්