ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස අප මෙම ‘අශිෂ්ට සංස්කෘතියෙන්’ මිදිය යුතුය – සම්පත් සමරකෝන්

දේශපාලනඥයෙකුගේ දේශපාලනයට අකමැති වීමට, විවේචනය කිරීමට, ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත. නමුත් එම අකමැත්ත, විවේචනය ප්‍රකාශ කළ යුත්තේ දියුණු-ශිෂ්ට මිනිසුන් ලෙසය. ලිංගික දිශානතිය පදනම් කරගත් ද්වේශසහගත ප්‍රකාශයන් අනුමත කිරීම හෝ ඒවා බෙදා හැරීම (Sharing) මගින් දායක වන්නේ අපේම සමාජය අශිෂ්ටත්වයට ඇද දැමීමටයි. ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස අප මෙම ‘අශිෂ්ට සංස්කෘතියෙන්’ මිදිය යුතුය. එයට එරෙහිව පෙනී සිටිය යුතුය. මීට කලකට පෙර රනිල් සහ මංගලට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවුණි. මංගල සිය රුචිකත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. රනිල් නිහඩව උන්හ. එය ඔවුන්ගේ කැමැත්තය. දැන් එහි ගොදුර අගමැතිණි හරිණි අමරසූරියයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයෙකු හෝ දේශපාලනඥයෙකු විවේචනයට ලක් කිරීම පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් බව නැවතත් කියමි. එම විවේචනය එල්ල විය යුත්තේ ඔවුන් ගන්නා දේශපාලන තීරණ, පරිපාලනමය දුර්වලතා හෝ දෘෂ්ටිවාදාත්මක ගැටලු මතය. එහෙත්, ලංකාව තුළ බොහෝ විට සිදුවන්නේ පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය, විවාහක අවිවාහක භාවය හෝ ලිංගික රුචිකත්වයන් දේශපාලන කරළියට ඇද දමා එම පුද්ගලයා අපකීර්තියට පත් කිරීමයි. මෙය විවේචනයක් නොව නින්දිත පුද්ගල ඝාතනයකි.

අයිතිවාසිකම් සහ මානව ගරුත්වය අගය කරන සියලු පුරවැසියන් පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් මෙවැනි නින්දිත ප්‍රහාරයන්ට එරෙහිව හඬ නැගිය යුතුය.

මන්දයත්, අද වෙනත් අයෙකු දඩයම් කරන මෙම අශිෂ්ටත්වය හෙට මගේ හෝ ඔබේ සමීපතමයෙකුගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමට ද ඉඩ ඇති බැවිනි. ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් උදෙසා මෙම චින්තනය වහා වෙනස් විය යුතුව ඇත.

දේශපාලන විවේචන තිබුණත්, හරිණිගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටිමි. Harini Amarasuriya.

 

Social Sharing
පුවත්