
රජය විසින් මාධ්‍ය මර්දනය සඳහා ගනිමින් සිටින පියවරයන් සහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්දයෙන් සිය කනස්සල්ල පල කරමින් “අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ…
මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමේ සහ තොරතුරු අයිතිය යටපත් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහා නතර කරනු!
මාධ්‍ය නිදහස, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය යනු මෙරට ජනතාව වසර 76ක් තිස්සේ සිවිල් අරගල මගින් දිනාගත් සහ ශක්තිමත් කරගත් ප්රජාතන්ත්රවාදයේ අත්‍යවශ්‍ය අංගයන් වේ. විශේෂයෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීම ශ්‍රී ලංකාව මෑතකදී තැබූ ශක්තිමත්ම ප්රජාතන්ත්රවාදී පියවරයි.
බිඳවැටෙමින් පවතින ජනවරමේ පොරොන්දු!
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්රකාශනයේ පහත සඳහන් පොරොන්දු ද තිබුණි:
- මාධ්‍ය නිදහස පිළිගැනීම සහ ආරක්ෂා කිරීම.
- ප්රකාශනයේ නිදහසට බාධා වන වගන්තීන් ඉවත් කර ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත’ සංශෝධනය කිරීම.
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
කෙසේ වෙතත්, වත්මන් රජය මෙම පොරොන්දුවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව අප සංගමය අවධාරණය කර සිටිමු.
මෑතකදී නිරීක්ෂණය කරන ලද බරපතළ සිදුවීම්!
රජය විසින් මාධ්‍ය මර්දනය සඳහා ගනිමින් සිටින භයානක පියවර කිහිපයක් අප නිරීක්ෂණය කර ඇත:
- මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම: හිරු ටීවී නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRC) ලිඛිතව දැනුම් දීම. (මාධ්‍ය අන්තර්ගතයන්හි සත්‍යතාව පරීක්ෂා කිරීමට TRC වෙත නීතිමය බලයක් නොමැත).
- මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම: සාපරාධී අපහාස නීතිය අහෝසි කර තිබියදීත්, වාර්තාකරණයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම.
- තොරතුරු අයිතියට බාධා කිරීම: තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අවශ්‍ය සම්පත් ලබා නොදී එහි ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කිරීම.
- ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම.
- මාධ්‍යයට තොරතුරු ලබා දුන් බව පවසමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයෙකුගේ වැඩ තහනම් කිරීම.
- මර්දනකාරී නීති සහ තර්ජන: සමාජ මාධ්‍ය මර්දනයට හදිසි නීති රෙගුලාසි යොදා ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පොලිසියට උපදෙස් දීම.
- දිත්වා සුළි කුණාටුවෙන් පසු පැනවූ හදිසි නීතිය තවදුරටත් පවත්වාගෙන යාම.
- ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හරහා සමාජ මාධ්‍ය නිදහසට බාධා පැමිණවීම.
- ආණ්ඩු විරෝධී අදහස් දරන මාධ්‍ය ආයතනවලට එරෙහිව සංවිධානාත්මක වෛරී ප්‍රචාර පවත්වාගෙන යාම.
නීතිමය සහ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කිරීම
ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ග පහත සඳහන් නීතිමය රාමු සෘජුවම උල්ලංඝනය කිරීමකි:
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: 14(1)(අ) වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති නීතිය ඉදිරියේ සමානත්වයේ අයිතිය උල්ලංඝනය වේ.
- තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත: 40 සහ 41 වගන්ති අනුව මහජන උනන්දුව වෙනුවෙන් තොරතුරු හෙළි කරන පුද්ගලයන්ට දඬුවම් කිරීම හෝ බිය ගැන්වීම නීති විරෝධී වේ.
- ජාත්‍යන්තර බැඳීම්: ශ්‍රී ලංකාව අපරානුමත කර ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුම (ICCPR) සහ මෙරට 2007 අංක 56 දරන ICCPR පනත යටතේ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට රජය බැඳී සිටී.
අපගේ බලකිරීම්
මෙරට ප්රජාතන්ත්රවාදය අනතුරේ හෙලන මෙම ක්‍රියාදාමයන් නතර කරනු පිණිස අපි රජයට පහත දැක්වෙන කරුණු අවධාරණය කරමු:
- බිය ගැන්වීම් නතර කරනු: පොලීසිය සහ විධායක බලය යොදාගෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බිය ගැන්වීම වහා නතර කළ යුතුය.
- තොරතුරු අයිතිය සුරකිනු: තොරතුරු කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, තොරතුරු ලබා දෙන නිලධාරීන්ට එරෙහිව පළිගැනීම් නතර කරන ලෙසත් බල කරමු.
- පොරොන්දු ඉටු කරනු: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ මර්දනකාරී වගන්ති ඉවත් කරන ලෙසත්, නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ ප්රජාතන්ත්රවාදය සහ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සුරැකෙන පරිදි සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටිමු.
- ස්වාධීන නියාමනය: මාධ්‍ය පාලනයට විධායකය අතපෙවීම වෙනුවට, මාධ්‍යවේදීන් සහ ආයතන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන, ස්වයං-නියාමන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය.
මාධ්‍ය නිදහස සහ තොරතුරු අයිතිය යටපත් කිරීමට ඉඩදීමෙන් ඔබ වසර ගණනාවක් තිස්සේ රැකගත් ප්රජාතන්ත්රවාදය අනතුරේ වැටෙන බව අපි සමස්ත ජනතාවට ද සිහිපත් කර සිටිමු.
නීතීඥ දුලාන් දසනායක
ලේකම්,
අයිතියසිකම් උදෙසා මාධ්‍යවේදියෝ (Journalists for Rights)
