
ශ්‍රී ලංකා පාසල් අධ්‍යාපනයේ වඩාත් තීරණාත්මක ම විභාගය ලෙස සැලකෙන්නේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යි.
වසර 13ක පාසල් අධ්‍යාපනයේ කඩඉම් විභාගය වන මෙය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලැබීමේ විභාගය යි.
වෙනත් විදියකින් පැහැදිලි කළහොත් දරුවෙකුගේ අනාගතයේ දිශානතිය තීරණය කරන ප්‍රධානතම විභාගය ලෙස උසස් පෙළ විභාගය හැඳින්විය හැකි ය.
මේ වන විට 2025 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබෙන කාලවකවානුවක ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මහජන රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතු වෙමින් තිබේ.
ජාතික ජන බලවේගය පිහිටවූ රජයට වසරක් සපිරෙන අද (නොවැ: 21) දිනයේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය සංවිධානය කර ඇති නුගේගොඩ මහජන රැලිය උසස් පෙළ විභාගයට බාධා නොවන අයුරින් පැවැත්වීමට උපදෙස් දී ඇති බව පොලිසිය පවසයි.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් පොලිසිය වෙත ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.
කෙසේ වෙතත්, විභාගයට බාධා සිදුවුවහොත් රටේ නීතිය යටතේ කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ සම්බන්ධව පොලිසිය නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත්තේ, සවස 5.00 දක්වා විභාග කටයුතු පැවැත්වෙන බැවින් ඊට බාධා නොවන ලෙස වගබලා ගන්නා ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් කොන්දේසි පනවා ඇති බව ය.

“මහජන රැලිය පවත්වන ස්ථානයට යාබදව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින් මහජන රැලිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම මගින් එම විභාග සඳහා පෙනී සිටින සිසුන්ට බාධාවක් සිදුවිය හැක,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ, “මෙදින උදෑසන 08.30 සිට උදෑසන 11.40 දක්වාත් සහ සවස 02.00 සිට සවස 05.00 දක්වාත් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර කොන්දේසි ලබා දී ඇත,” යනුවෙන් නිවේදනයේ දැක්වේ.
එමෙන් ම මෙම රැලිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසත්, බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට දන්වා ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර, ඊයේ (20) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘රට ම එකට’ වැඩසටහනේ රැස්වීමක් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා සහභාගි වූ එම රැස්වීම විභාගය පැවති කාලසීමාවේ පැවති අතර, විපක්ෂයේ රැලිය පැවැත්වෙන්නේ ද එම කාලසීමාව තුළදී ය.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, විභාගයට මසකට පෙර පවත්වන ආරක්ෂක රැස්වීමේදී විභාගයට බාධා නොවීමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව ය.
“ආරක්ෂක රැස්වීමක් තියෙනවා විභාගයට කලින්, මාසයකට කලින් තියෙනවා රැස්වීමක්. ඒකෙදි දැනුවත් කරලා තියෙන්නේ විභාගයට බාධා වන අයුරින් මේවා තියන්න එපා කියලා.”
අද සවස 5.10 දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කළේ ය.
“ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළොත් විභාග ශාලා අවට තියෙනවා, ඒවාට බාධා වෙනවා. පෙළපාළි වගේ ශබ්ද නගා ගමන් කරන්න ගියොත් බාධා වෙනවා. එහෙම නොකරන්න කටයුතු කරන්න උපදෙස් දීලා තියෙනවා,” විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.
කෙසේ වෙතත්, අද දිනයේ නැවත වරක් ඒ සම්බන්ධව සිහි කැඳවීමක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියා ය.
