
-රන්ජන් කටුගම්පොල-
යුක්තිය මෙහෙයුම් සමයේදී නිකරුණේ තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික අන්දමින් පහරදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තැයි චෝදනා කර රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ග්‍රැන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා පිය පුතු දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්තකෝදාගොඩ. සෝභිත රාජකරුණා සහ මෙනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතවිනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස අවසර දුන්නේය.
වෙළෙඳ ව්‍යාපාරිකයන් වන මොහොමඩ් සුලයිමාන් සහ ඉෆ්තාන් රාමතුල්ලා යන පිය පුතු දෙදෙනා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් පරීක්ෂක ජීවන්ත, කොස්තාපල්වරුන් වන තනූජ විජේසුන්දර සහ ග්‍රැන්ඩ්පාස් පොලිසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ග්‍රැන්ඩ්පාස් මහල් නිවාසයේ පදිංචි පිය පුතු දෙදෙනකු වන තමන් 2024 මාර්තු 14 වැනිදා යුක්තිය මෙහෙයුම සිදු කරන කාලයේ පොලිස් නිලධාරීන් පිරිසක් තමන් පදිංචි මහල් නිවාසයට පැමිණ නිවස පරීක්ෂා කර තමන්ට පහරදී අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ පාස් පොලිසියට රැගෙන ගිය බව සඳහන් කරන පෙත්සම්කරුවෝ පොලිසියේදීත් තමන්ට පහරදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් අධිකරණට පමුණුවා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ බව පවසති.
පසු අවස්ථාවක ඇප මත මුදාහරිනු ලැබු බවත් තමන්ට එරෙහි චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරනු ලැබු බවත් සඳහන් කරමින් ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ වග උත්තරකාර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසන පෙත්සම්කරුවෝ තම පෙත් සම විභාගයට ගෙන තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කර තමන්ට රුපියල් කෝටි පහ බැගින් වන්දි දෙන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් චලන පෙරේරා මහතා සමඟ නීතිඥ හිජාබ් හිස්බුල්ලා මහතා පෙනී සිටියේය.
