මේක “ශුභසාධන අයවැයක්” – මහාචාර්ය වසන්ත අතුකෝරළ

ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස වන්නේ, 2026 අයවැය ශුභසාධන අයවැයක් බව ය.

“මේ අයවැය සමස්තයක් හැටියට විශ්ලේෂණය කරනකොට මම දකින්නෙ ශුභසාධන අයවැයක් විදිහට. ඒකට ප්‍රධාන හේතුව විදිහට දකින්නෙ, අපි දන්නව සමාජයේ ඉන්න දිළිඳු කොටස් පිළිබඳව, සමාජයේ විවිධ ස්ථරවල ඉන්න පුද්ගලයින්ට ශුභසාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම වගේ පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා.”

මෙම අයවැය සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් නොවන්නේ මන්ද යන්න මහාචාර්යවරයා පැහැදිලි කළේ මෙසේ ය.

“ආර්ථික සංවර්ධනයක් සඳහා වන අයවැයක් නම් ඒකෙ තියෙන්න ඕනෙ දිගුකාලීන දැක්මක්. රාජ්‍ය ආදායම වැඩි කරන, යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස දියුණු කරන තත්ත්වයක් ඒ තුළ තියෙන්නට ඕනෙ. නමුත්, වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක වුණ අයවැය ක්‍රමයට යටත්ව තමයි මේ ජාතික ජන බලවේගයේ දෙවන අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ.”

මෙවර අයවැයෙන් සහනාධාර සඳහා රුපියල් බිලියන 1347ක් වෙන් කර ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.

“මේ සහනාධාර වගේ දේවල් ක්ෂණිකව අයින් කරන්න රජයට බැහැ. ඒවට බැඳිල තියෙන්නෙ. පොළි ගෙවීම්වලටත් බැඳිල තියෙන්නෙ. ඒක රජයට බැහැ ක්ෂණිකව වෙනස් කරන්න.

මේ අතර, රාජ්‍ය ආයෝජන ලෙස සටහන් වන්නේ, රුපියල් බිලියන 1380කි.

“රාජ්‍ය ආයෝජන ප්‍රමාණය සහනාධාර ගෙවන ප්‍රමාණයට සමාන යි. රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 2000 ඉක්මවන්න පුළුවන් නම් මේක සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් කියල කියන්න පුළුවන්.”

මහාචාර්ය වසන්ත අතුකෝරළ

බී බී සී සිංහල සේවය පල කල ලිපියකින් කල උපුටා ගැනීමකි.

Social Sharing
අවකාශය නවතම