ත්‍රිකුණාමලයේ විහාර ගැටලුව විසඳීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්!

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ

-BBC-

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ ‘අනවසර ඉදිකිරීමක්’ කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට අදාළ ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද (නොවැ: 19) යෝජනා කළේ ය.

මෙහිදී විනිසුරු ධම්මික ගනේපොළ පෙන්වා දුන්නේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව ය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනයක් කර එහි යම් ගැටලුවක් ඇත්දැයි සොයා බැලීම යෝග්‍ය බව මෙහිදී විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට යෝජනා කළේ ය.

ඒ අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරීක්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ එකඟතාව පළ කළහ.

මෙම කටයුතු ඉටු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ, මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශවකරුවන් අනවශ්‍ය ගැටලු වලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව ය.

ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ සේවාදායකයින් දැනුවත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ ය.

එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් සිදුවුවහොත් ඒ තුළින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ ය.

අදාළ පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 16 වන දාට කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කළේ ය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.

පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියා සිටින්නේ, තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බව ය.

2014 වසරේ ජූනි මස 6 වන දා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්ද වංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරා දුන් බවත් පෙත්සම තුළින් සඳහන් කර තිබේ.

තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරන ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2025.07.18 සහ 2025.07.25 දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් සඳහන් කර තිබේ.

එහෙත්, එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවත් එහි දැක්වේ.

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කර කර ඇත.

අදාළ ඉදිකිරීම මගින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන් ම ද්වේෂසහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

Social Sharing
අවකාශය නවතම