
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් ඊයේ (12) අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාරදී තිබෙනවා.
දේශීය මෙන්ම, ජාත්‍යන්තර වශයෙන් ද විශාල කතාබහකට ලක්ව ඇති මෙම පනත “ශ්‍රී ලංකා නීතියේ කළු කුහරයක්” නමින් සමහර නීති විශාරදයින් විසින් හදුන්වනු ලබනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පසුව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ලෙස සංශෝධන වූ අතර, මෙම පනත දැනට දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමා කරමින් ඉතා මර්ධනකාරී ලෙස ක්‍රියාත්මක වී තිබේ.
පැවති බොහෝ රජයන් ත්‍රස්ත මර්ධනයට මුවා වී තම විරුද්ධවාදීන් මර්ධනය කිරීම සදහා මෙම පනත යොදා ගනු ලැබූ අතර, ඒ හේතුව මත මේ පනතට විරුද්ධව සැලකිය යුතු විරෝධයක් රට තුළ මතු විය. එම මහජන විරෝධය හේතුවෙන් විපක්ෂ වේදිකාව තුළ ද මෙය ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. ඒ නිසා තමන් බලයට පත් වූ විගස මෙම පනත අහෝසි කරන බවට ප්‍රකාශ කරනු ලැබුවත්, එසේ පත්වූ කිසිම රජයකට පනත අහොසි කිරීමට මෙතෙක් නොහැකි විය.
වර්තමාන ජාතික ජනබලවේග රජය මේ පිළිබදව සැලකිය යුතු අවධානයක් යොමු කරමින් තම රජයක් යටතේ මෙම මර්ධනකාරී පනත අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබුනි. එමෙන්ම, මෙම පනත අහෝසිකරන බව තම ප්‍රථිපත්ති ප්‍රකාශනයට ද ඇතුලත් කර තිබුනි.
වර්තමාන රජය පත් වී වසරක් ඉක්මවීමෙන් පසුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම තවදුරටත් ප්‍රමාද වීම සම්බන්ධව මාධ්‍යව්දියෙකු පසුගිය දා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූ විට ඔහු පහත ප්‍රකාශය කර තිබුනි.
“අපි සූදානම් මේ පනත අහෝසි කරන්න. අහෝසි කරලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහ ජනතාවට වගකියන අලුත් නීතියක් අරගෙන එන්න. නමුත් ඒක හදිසියේ කරන්න බෑ. ඒ නිසා පවතින නීතිවලට අනුව කටයුතු කරන්න සිදුවෙනවා,”
“ජාතිවාදය වපුරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. නැවත ලේ වැගිරීමක් සිදු කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපට පවතින නීති සමග කටයුතු කරන්න සිදු වෙනවා.” මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇහිරීමක් නොවන බව ද ඔහු පැවසී ය.
