මාදුළුවාවේ සෝභිත හිමි මතක මෙහෙවර!

 

මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දසවන ගුණසමරුව පසුගිය 08 වන දාට යෙදී තිබුණි.

අසූව දශකය ලංකා දේශපාලනයේ පිපිරුම් සහගත සිදුවීම් රැසක් වූ දශකයකි. මා මුලින් ම සෝභිත හිමියන් දුටුවේ ගැටඹේ රාජෝපවනාරාමයේ අධිපති හිමිපාණන්ගේ ආදාහන උත්සවයේ දීය.

ජයවර්ධන ජනාධිපතිතුමා පන්සල වටා කටුකම්බි ගසා සිය අනුගාමිකයන් ලවා පන්සල ඉදිරියේ උපවාසයක් ද කෙරෙව්වේ ය. ඒ ලබුදූවේ හිමියන් ජයවර්ධන ජනාධිපතිතුමාට ‘දේශද්‍රෝහියා’ යැයි ප්‍රකාශ කළ නිසා ය. (ඒ කාලයේ ICCPR පනත නොතිබිණි!) සෝභිත හිමියන් ආදාහන පූජෝත්සවයේ ප්‍රධාන අනුශාසනය කළ අතර, ඉලක්කය ජයවර්ධන ජනාධිපතිතුමා විය. උන්වහන්සේ මෝටර් රථයට වඩින තෙක් මම ද, පසුපසින් ගියේ කවුරුන් හෝ (බෞද්ධ සම්මේලනයේ දී මෙන්) උන්වහන්සේට අනතුරක් කරාවිය යන සැකය නිසා ය. නායක හාමුදුරුවෝ පසුපසින් එන මාව සැක කළහ. මම අනන්‍යතාව හෙළි කර ඇත්ත ම කීවෙමි. “දරුවා යන්න. මට අනතුරක් නෑ. ධම්මො හවේ රක්ඛති ධම්මචාරී” යනුවෙන් ප්‍රකාශ කළහ.

මම පසුව අස්ගිරි මහනායක හිමියන් පිහිට වූ මව්බිම සුරැකීමේ සංවිධානයට ද, එක්වීමි. පසුව එය දෙකඩ විය. අපි මාදුළුවාවේ සෝභිත හිමි මූලිකත්වය ගත් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට එක් වීමු. එවකට තහනම් කර තිබූ ජවිපෙ ද එයට යටින් එක් විය.

1987 මැයි 01 දා නාරාහේන්පිට අභයාරාමයේ දී මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට වෙඩි වැස්සක් එල්ල විය. මාදුළුවාවේ සෝභිත හිමි එදා තහනම් මැයි දිනයේ ප්‍රධාන කථිකයා විය. අභයාරාමය ලෙයින් තෙත් විය.

ජයවර්ධන ජනාධිපතිතුමාට ලොවට, විශේෂයෙන් ඉන්දියාවට පෙන්නීමට අවශ්‍ය වූයේ උතුරේ විසඳුමට විරුද්ධ වන දකුණේ බලවේග මර්දනයට තමන් නොපැකිලෙන බව ය.

ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර දා (28-07-87) මහා භික්ෂු පෙළපාලියක් (කළින් දා (27-07-87) විද්‍යාලංකාර පිරිවෙනේ දී යෝජනා කර ගත් පරිදි) විද්‍යෝදය පිරිවෙනේ සිට ආරම්භ විය. එහි ඉදිරියෙන් ජාතික කොඩි රැගෙන ගියේ එවකට කොළඹ නීති පීඨයේ කරුණාරත්න හා මම ය. ඒ භික්ෂු පෙරහර දැකීමෙන් රජීව් ගාන්ධි අගමැතිතුමාට පහර දීමට තමන් තුළ ආවේගයක් හට ගත් බව පසුව එයට මුල් වූ විජිතමුණි නාවුක භටයා ප්‍රකාශ කළ බව මතක ය.

පිටකොටුව බෝ ගහ යට උපවාසය කෙළවර වූයේ ලේ ගංගාවකිනි. සිය වෝර්ඩ් පෙදෙසේ නිවසේ සිට ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට විශේෂ බලකාය විසින් රැගෙන ගිය බවත්, එහි ජනේලයකින් එලිය බැලූ විට වෙඩි හඬ මැද ගිනි ගන්නා පිටකොටුව ප්‍රදේශය පෙන්වූ ජයවර්ධන මහතා “See Democracy is working” කියා තමන්ට කියූ බවත්, මන්දිරයේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස ක්‍රියා කළ රංජිත් ගුණතිලක වරක් මා හට ප්‍රකාශ කළ බව මතක ය.

ඉන් පසු ධවල භීෂණය හා රක්ත භීෂණය ඇරඹිණ. ප්‍රජාතන්ත්‍රවාදය ගිනිදලු මැදින් වැඩ කිරීමට පටන් ගෙන තිබිණි. ඇතිවෙමින් තිබූ ලේ වැගිරීම් පිළිබඳ සෝභිත හිමියන් කම්පනයට පත්ව තිබිණි. තුවක්කු කතා කරන්නට පටන් ගෙන තිබුණු අතර, නිරායුධ අවිහිංසා දේශපාලනය නිහඬ වන්නට විය.

විජය කුමාරතුංග මහතා ඝාතනය වූයේ ඒ අතරේ ය. මේ නිසා සෝභිත හිමියන් ‘ජවිපෙ’ පිළිබඳ තිබූ ආකල්පය වෙනස් විය. විජය කුමාරතුංග ජවිපෙ තහනම ඉවත් කර ගැනීමට දැරූ උත්සාහය උන්වහන්සේ නිතර සිහි කළහ. විජය යැවුවේ ඇයි? නමින් වූ පත්‍රිකාවක් මගින් ජවිපෙ සන්නද්ධ අංශය ඝාතනය සාධාරණීකරණය කිරීමට උත්සාහ ගෙන තිබිණි. විජය ඝාතනයට පෙර එක්සත් ජනපද තානාපති නිලධාරියෙකු සමග දිවා භෝජනයක් සඳහා යමින් සිටි බවත්, ඔහු සී අයි ඒ එකට ජවිපෙ පිළිබඳ තොරතුරු ගොනුවක් ලබා දීමට ගිය බවත්, එයින් කියවිණි. (හිටපු සහ සිටින ජවිපෙ ක්‍රියාකාරීන්ට ඕනෑම ක්‍රියාවක් සාධාරණීකරණය කරන්නට CIA තරම් තවත් ආයතනයක් නැත. අවසානයේ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි ඇතමුන් විදේශගත වූයේ ද, CIA උදව්වෙන් බව ප්‍රේමදාස ආණ්ඩුව ද, චෝදනා කළේ ය..!)

විජය ඝාතනය කිරීමෙන් තුන්වැනි වර ද, ජනාධිපතිවරණයට තරග කිරීමට සිටි ජයවර්ධන මහතාට තිබූ ජනප්‍රිය ඡන්ද දෙකඩ කිරීමේ උපක්‍රමයක් (මෙය 1977 දී ද, 1982 දී ද, ඔහු සාර්ථකව අත්හදා බලා තිබිණි.) අහිමි විය. ජයවර්ධන ජනාධිපතිතුමා ජවිපෙ තහනම ඉවත් කළේ විජේවීර මහතා නැවත තරගයට ගැනීමට විය යුතු ය. (එය සිදු වූයේ අතිශය සැක කටයුතු ව්‍යාජ ගිවිසුමක් හරහා බැව් පසුව පැහැදිලි විය.)

ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයට නම්බුකාර ව නැවත පැමිණිය යුතු බැව් මාදුළුවාවේ සෝභිත හිමිගේ අදහස විය. උන්වහන්සේ මේ බව ජවිපෙ ට හිතවාදී ව සිටි ප්‍රින්ස් ගුණසේකර මහතාට මෙන් ම දිනේෂ් ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කළ බව මතක ය. ජවිපෙ සිය සන්නද්ධ ශක්තිය හා ශ්‍රීලනිප තල්ලුව ගැන සිටියේ අධිතක්සේරුවකිනි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවේ නැත. 1988 ජනාධිපතිවරණයේ දී ඒ සඳහා වූ අවස්ථාව ද, සහමුලින්ම පැහැර හැරියේ ය.

ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාස මහතා ළඟ තරගයකින් ජය ගත් අතර ‘කෙරනෙස්කි’ බලයට ආ බව කියමින් ජවිපෙ සිය සන්නද්ධ ප්‍රහාරය වේගවත් කළේ ය. ප්‍රේමදාස මහතා හා ඔහුගේ ලෝරන්ස් මාෆියාවේ ප්‍රහාරය එමෙන් විසිතිස් ගුණයක් භයංකර වූ ද, අලුගෝසුවාදී ද විය. මාදුළුවාවේ හිමි, නන්දා මාලිනී වැනි අය කරා ද, ජීවිත තර්ජන එල්ල විය. ඇතමුන් රට හැර ගියහ. ඇතමුන් යටිබිම්ගත විය. ඇතමුන් වධකාගාරවලට ගාල් විය. ඇතමුන් පුළුස්සා මරා නගරවල ප්‍රදර්ශනයට තැබිණි.

ජවිපෙ සංහාරයෙන් පසු ප්‍රේමදාස මහතා විරුද්ධවාදීන් වෙතට හැරිණ. රිචඩ් සොයිසා ඝාතනය එහි කූඨප්‍රාප්තිය විය. සෝභිත හිමි රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යළිත් පෙරමගට පිවිසුණ හ.

චන්ද්‍රිකා මැතිනිය ගේ සාම යුද්ධය අසාර්ථක වෙමින් රට ප්‍රභාකරන්ගේ ජාතිවාදයට යට වෙමින් පවතින බැව් දුටු සෝභිත හිමියන්, ඉත්තෑපානේ හිමියන් වැනි භික්ෂූන් වහන්සේලා ජාතික සංඝ සභාව පිහිට වූහ. කොටි සංවිධානය තහනම් කිරීමට ආණ්ඩුව නිර්භීත වූයේ දළදා මාළිගය ට පහර දීමට එරෙහිව සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එදා ගිය දැවැන්ත භික්ෂු පෙරහර නිසා ය. එයින් ම රට තුළ ඇතිවීමට ගිය මහා ජනවාර්ගික, ආගමික ගැටුමක් ද මග හැරිණි.

1999 ජනාධිපතිවරණයේ දී අපේ මතය වූයේ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවයි. සමාන මතයක් ගංගොඩවිල සෝම හිමියන් ද පළ කළහ. අපේ උත්සාහය සාර්ථක වූයේ නැත. බොහෝ ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් කෝට්ටේ පාර්ශවය උදව් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට ය.

ඉන් පසු අප හා සෝභිත හිමියන් අතර, දේශපාලන සබැඳියාවක් ඇති නොවිණි. උන්වහන්සේ තීරක ලෙස දේශපාලනයට විශේෂයෙන් 2005 හෝ 2010 ජනාධිපතිවරණවලට මැදිහත් වූ බව ට, මා හට මතකයක් නැත. උන්වහන්සේ නැවත මට හමු වූයේ 2014 දී පමණ ය. ඒ උන්වහන්සේ තවත් ගිහියන් කිහිප දෙනෙකු සමග මගේ රාජකාරි නිවසට වැඩම කළ විටය. කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ගෙන ඒමට යෝජනාවක් ඉදිරිපත් වූයේ එහි දී ය. ජනාධිපති ධුරය අහෝසි කිරීම පාර්ලිමේන්තුවට පමණක් කළ නො හැකි බව අවධාරණය කළ මම පොදු අපේක්ෂක ලෙස කරු ජයසූරිය මහතාගේ පැමිණීම සුදුසු බව කීවෙමි. යූ එන් පී නායකත්වය එයට හරස් විය.

2015 ජනාධිපතිවරණයට කරු ජයසූරිය ඉදිරිපත් වූවා නම් රටේ ඉරණම බොහෝ දුරට ‘ඩීල්’ දේශපාලනයෙන් ගැලවී ගැනීමට ඉඩ තිබිණි. ඩී.බී. ජයතිලක මහතා මෙන් ම කරු ජයසූරිය මහතා ද, ප්‍රභූ කුමන්ත්‍රණ විසින් යටපත් කරනා ලද සහකම්පනය සහිත ජාතික සංස්කෘතිය මෙන් ම ආර්ථික සමෘද්ධිය ද, එක විට හඳුනා ගත් නායකත්වයන් දෙකකි. නිර්ප්‍රභූ යැයි කියාගත් ලුම්පන් බලවේගයක් විසින් ලලිත් ඇතුලත්මුදලි මහතා රටට අහිමි කළ අතර, කොටි සංවිධානය විසින් ගාමිණී දිසානායක මහතා ද අහිමි කළේය. ඔවුන් සිටියා නම් වඩා කාර්ය ශූර, පුළුල් නායකත්වයක් රටට ලැබීමට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් මාදුළුවාවේ සෝභිත හිමි දැන් අප අතර නැත. ඇතැම් සමාජ විද්‍යාඥයින් උන්වහන්සේ හැඳින්වූවේ ‘දේශපාලන භික්ෂුව’ නැතිනම් ‘ජාතිවාදී භික්ෂුව’ ලෙස ය. නමුත් දැන් පවතින අවර ගණයේ ජාතිකවාදී, ආගමිකවාදි, ප්‍රදර්ශනකාමී වොයිස් කට් හා යූ ටියුබ්කාර ඇතැම් භික්ෂූන් වහන්සේ සමග උන්වහන්සේ කිසි ලෙසක සැසඳිය නො හැක. රටට නව ආර්ථික අත්තිවාරමක් මෙන් ම නව දේශපාලන සංස්කෘතියක් ද, ශාසන පුනර්ජීවනයක් ද, අත්‍යවශ්‍ය ය. රට වෙනුවෙන් තවත් සෝභිත හිමිවරු දහසක් අවශ්‍ය මොහොත උදා වෙමින් පවතී.

– පාඨලී චම්පික රණවක –

Social Sharing
අවකාශය නවතම විශේෂාංග