
විවිධ හේතූන් මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම නවත්වන්න යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන නිකුත් කිරීමෙන් යුක්ති විනිශ්චය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසයට හානියක් සිදුවන බවයි.
සියලු අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන නීතිය මගින් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිවලට අනුකූලව දැඩි ලෙස සිදු කළ යුතු බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් පෙන්වා දෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් පටිගත කරන ලද ප්‍රකාශ හෝ “හඬ කැපීම්” බලහත්කාරයෙන් උපුටා ගැනීම සහ පසුව මෙම දර්ශන සහ හඬපට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වීම පිළිබඳව එම සංගමය සිය කනස්සල්ල පළ කරයි.
යුක්ති විනිශ්චය ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ලවන එවැනි ක්‍රියාවන්ට පොලිසියේ නිහඬ අනුමැතිය ඇති බව පෙනෙන බවත්, ඒවා වෘත්තීය නොවන බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට එය හානි කරන බවත් වෙබ් මාධ්‍යවේදීන් පෙන්වා දෙයි.
විනිසුරුවරුන්, නීති විශාරදයන්, පොලිස් ප්‍රකාශකයින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම මෙරට නිතිය ද වරින් වර පෙන්වා දී ඇති පරිදි, අත්අඩංගුවට ගැනීම යනු වරදකරු බවට තීන්දු කිරීම නොවේ.
අපගේ සංගමය විශ්වාස කරන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පුරවැසියන්ගේ මූලික අයිතීන්ට ගරු කළ යුතු අතර, විමර්ශන කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගත යුතු බවයි.
එබැවින් මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු නොකොට මෙවැනි වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස අප ශ්‍රී ලංකා පොලිසියෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතනවලට දොස් පවරන බවට නිතර සිදුවන ප්‍රකාශයන්ට පටහැනිව, මෙම පටිගත කිරීම් බොහොමයක් බෙදා හැරීම සඳහා පොලිස් නිලධාරීන්ම වගකිව යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව ද වෙබ් මාධ්‍යවේදීන් පෙන්වාදෙයි. එවැනි හැසිරීම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි එහි සඳහන් විය.
https://www.meepura.com/wp-content/uploads/2025/10/IMG-20251027-WA0014-1.jpg
