නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් ‘දෙරණේ රොටියා’ මරුට… – මහේෂ් හපුගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මරු කතාවක් කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඒක තමයි මටත් වෙඩි තියල ‘රොටියට’ වෙඩි තිබ්බ කියල චැප්ටර් ක්ලෝස් කරයි කියන එක. ඇත්තටම මේ මොහොතේ සිද්දවෙන්නේ ඒක.

මාලිමාවේ හෝ ජවිපෙ නොවන හැමෝම දේශද්‍රෝහී, දූෂිත, පාතාල, රටට ආදරයක් නැති සහ ඒ නිසාම විනාශකල යුතු – ඉවත්කළ යුතු ප්‍රවර්ගයක් හැටියට ‘නාමකරණය’ වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ, සමගියේ, ශ්‍රී ලංකා එකේ, පොහොට්ටුවේ, කුසලානේ, දිනන දකුණේ, විමල් පාර්ශවයේ වගේ හැම කෙනෙක්ම පාහේ ජීවත්ව නොසිටිය යුතු වගේ හැඟීමක් මේ මාලිමා ප්‍රචාරණ යාන්ත්‍රණය ඇතුලේ අර්ථකතනය කෙරෙනවා.

මම හිතන්නේ ඒ ප්‍රචාරණ යාන්ත්‍රණය අන් කවදාටත් වඩා සමස්තතාවාදී වෙමින් පවතිනවා (totalitarian). ඒක මාලිමාවේ බුද්ධිමය යාන්ත්‍රණයට පවා අවිඥාණිකයි.

එතකොට මේ මතවාදී යාන්ත්‍රණයට අනුව මැරෙන්නේ ලංකාවේ දක්ෂ ව්‍යවසායකයෙක් සහ දේශපාලනඥයෙක් වෙච්ච දිලිත් ජයවීර නෙවෙයි ‘දෙරණේ රොටියා’ කියල කෙනෙක්. දෙරණ කියන්නේ නයි පෙන්නපු චැනල් එකක් විතරක් නෙවෙයි එක කාලයක ලස්සන මියුසික් ටිකකුත් ලංකාවට දුන්න චැනල් එකක් (මට අනුව). ඩෙල් ස්ටුඩියෝ මියුසික් ටික මට තාම මතකයි.

රාජපක්ෂට කඩේ යන, රනිල්ට කඩේ යන, නාමල්ට කඩේ යන හෝ වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක් මැරුණට කමක් නැහැ වගේ මතයක් මාලිමාව එදත් ජනගත කළා. අදත් කරනවා. උදාහරණයක් හැටියට නාකි මයින, නාකි රනිල් මැරෙන්නේවත් නැහැනේ කියල එදා වේදිකාවේ කිව්වේ මේ අදහසින්ම තමයි. අපිටත් මාලිමාව කැමති නැති දෙයක් කිව්වොත් කොමෙන්ට් සහ හා හා වැටෙන්නෙත් ඒ විදියටම තමයි.

හා හා වැටෙනවා කියන්නේ යන්න කාලේ හරි කියන එක.

මහින්ද, රනිල්, නාමල්, දිලිත් යන අයගේ අපි එකඟ නොවන දේ ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අය සීන් එකේ ඉන්න ඕනි. වරදක් තියනවා නම් ඒක වෙන විදියකට හැන්ඩ්ල් කරන්න ඕනි. හැබැයි ඒ දේශපාලන විවිධත්වය අපි ආරක්ෂාකරන්න ඕනි. හැමෝටම අයිතියක් තියනවා ජීවත්වෙන්න. වරදක් කරලා තියනවා නම් නීතිය ඉදිරියට යන්න. දඬුවම් කරන්න හෝ ලබන්න.

අධිකරණමය නොවන දේශපාලන වරදක් නම් (කැළණි නයා වගේ) මිනිස්සු ඒක වෙනම බලාගනී. හැබැයි දිලිත් ජීවත්වෙන්න ඕනි. චාමර සම්පත් ඉන්න ඕනි. අනික් හැමෝමත් ඉන්න ඕනි. රජයක් තියෙන්නේ අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. මාලිමාව දේශපාලනිකව සෙල්ලම් කරන්නේ ඒ මූලික වගවීම එක්ක.

මීට කලින් ආණ්ඩු ඒ වගවීම කළාද නැද්ද කියන එක නෙවෙයි ඒකට උත්තරය.

Social Sharing
නවතම විශේෂාංග