
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති Gen Z විරෝධතාකරුවන් දියත් කළ විරෝධතාවය හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රංශ හමුදාවට අයත් ගුවන් යානයකින් එරටින් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපති රාජොයිලිනා පැවසුවේ හමුදා නිලධාරීන් සහ දේශපාලනඥයන් පිරිසක් තමා ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බැවින් ජීවිතයට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ආරක්ෂිත ස්ථානයක රැකවරණය ලබමින් සිටින බවත්, තරුණ විරෝධතාකරුවන් සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
” Gen Z මැඩගස්කරය” ලෙස හැඳින්වූ තරුණ විරෝධතාවය මැඩගස්කරයේ පවතින දූෂණයට හා දරිද්‍රතාවයට එරෙහිව ආරම්භ වූ අතර, පසුව මේ විරෝධතාවය සදහා ප්‍රධාන හමුදා ඛන්ඩයන්ගේ ද සහාය හිමි වී ඇති බවද වාර්තා විය.
Gen Z විරෝධතාවය පාලනය කිරීම සදහා රාජොයිලිනා විවිධ උත්සාහයන් දරණු ලැබුවත් ඒ සියල්ල අසාර්ථක විය. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ඇතුළු මුළු රජයම පෙරලා දැමීමට තරුණ විරෝධතා කරුවන්ට හැකි වී තිබේ. 51 හැවිරිදි රාජොයිලිනා 2009 සිට 2014 දක්වා පළමු ජනාධිපති ධුරය හෙබවීමෙන් පසුව 2023 දී නැවත බලයට පත්විය.
