දුරගමන් බස්රථ පරික්ෂා කරන නියමු ව්‍යාපෘතිය බැස්ටියන් මාවතෙන් අරඹයි

දිගින් දිගටම සිදු වන බස් රථ අනතුරුවලට හේතුවක් ලෙස ධාවන දුර්වලතා පැවති බවට වාර්තා වීම හේතුවෙන් කිලෝමීටර් 100ට වැඩියෙන් ධාවන කරන මගී බස් රථයන් සදහා වාර්ෂික ප්‍රමිත සහතිකයට අමතරව මාසිකව පරීක්ෂාවක් සිදු කර ප්‍රමිති සහතිකයක් ලබා ගත යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

මගී ප්‍රවාහන සේවයේ ආරක්ෂාව හා ප්‍රමිතිය ඉහල නැන්වීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පත්කළ විශේෂ කමිටුවක් මගින් මගී බස්රථ පරීක්ෂා කළයුතු අංග පිළිබඳව එකඟතාවකට පැමිණි බවත්, ඒ අනුව නිර්මාණය කළ ලේඛනයක් පදනම් කරගෙන බැස්ටියන් මාවතෙන් ආරම්භ කරන මගී බස් රථ පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ සිට (9) ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.

මේ නියමු ව්‍යාපෘතියෙන් පසුව සුදුසුකම් ලත් පුද්ගලයෙක් හෝ සුදුසුකම් ලත් ආයතනයක් විසින් තම මගී ප්‍රවාහන බස් රථය පරීක්ෂා කරගෙන, අදාළ සහතිකය බස් රථය තුළ තබාගැනීම සිදු කළ යුතු බවත්, ඕනැම වේලාවක එම ප්‍රමිති සහතිකය පරීක්ෂා කිරීමේ අයිතිය අදාල බලධාරීන්ටත්, බස් රථයේ ගමන් ගන්නා මගීන්ටත් හිමි වෙන බව පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළකළේ, බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව ඒකාබද්ධව ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් ඩිමෝ (DIMO) ආයතනයේ පූර්ණ දායකත්වය හිමිවිය.

පිටකොටුව බැස්ටියන් මාවත මගී පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් රථ කිහිපයක ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම, ඩිමෝ ආයතනයේ තාක්ෂණික ශිල්පීන් විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේදීම අදාළ බස් රථවල ප්‍රමිති සහතිකය නිකුත් කළ අතර ඉදිරියේදී මේ ආකාරයෙන් මසකට වරක් සිය බස් රථ පරීක්ෂා කරගැනීමෙන් අනතුරුව අදාළ සහතිකය බස් රථ තුළ තබා ගතයුතු බවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

අදින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය, ඉදිරියේදී නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන බවත්, මෙය නීතියක් බවට පත්කර නීතිගත කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුළින් වර්තමානයේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය අවම කරගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති චන්ද්‍රපාල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
අවකාශය නවතම පුවත්