
මට පෙනෙන්නටම බැරි පත්තරකාරයා සුන්දර නිහතමානී ද මෙල් ය. රැවුල පිරුණු හිනා බිඳක් නැති මුහුණ, කනට ඇහෙන්නේ නැති කතාව සහ එකවර මතකයට එන්නේ වත් නැති තවත් හේතු නිසා මානිගේ තීරුව ලියන මිනිහා මට නම් අරහං ය.
දිවයින පත්තරේ ගිය මානිගේ තීරුව 1989 දී මම කියවන්න පටන් ගන්නා විට වයස 19 කි. අවස්ථාවක් පත්තරයක් ලැබුණු හැම විටම මම මානිගේ තීරුව කියවූවෙමි. වසර 36 ක් පත්තර කොළමක රසිකයෙක් වීම මට පමණක් නොව, ලංකාවේ තවත් දහස් ගණනකගේ අත්දැකීමකි. මානිගේ තීරුවේ ‘සර්ව කාලීන’ බව පොත් සැනකෙළියේ ඇති ඉල්ලුමෙන් පෙනේ.
පාසල් සිසුන්, තරුණ තරුණියන්, වියතුන්, උගත්තු, බස්කාරයෝ, පේමන්ට්කාරයෝ, මාළු කාරයෝ ඇතුළු සකල ජනයා මානිගේ පාඨකයින් ය. මානිට අහු නොවුණු විෂයයක් නැති තරම්ය. අනුනොවුණු දේශපාලනඥයෙක්, ක්‍රිකට් කාරයෙක්, මැතිවරණයක්, එන්ජීඕ කාරයෙක් නැති තරම්ය. මානිට අහු නොවුණු ගෑණියෙකු ද, මානිගේ තීරුවට අහු නොවූ කියවන්නෙකු ද නැති තරම් ය.
මානිගේ තීරුව ලියන්නට ගන්නේ 1989 උතුර – දකුණ දෙකොන ඇවිලුණු විලක්කුවක් වූ යුගයේ ය. රාවය, යුක්තිය, විවරණ, ත්‍රීශුලේ, විනිවිද වැනි විකල්ප පත්තර සඟරා අලෙවි වාර්තා තැබූ යුගයේ ය. එදා ‘දිවයින’ මේ රටේ ලොකුම සල්ලිකාරයාගේ, සුපිරි පන්නයේ ධනපතියාගේ ප්‍රධාන ධාරාවේ පුවත්පත විය. මානිගේ තීරුව විකල්ප පත්තරවල වත් නොලියවෙන විෂයයන් ඇඟට පතට නොදැනී ‘ධනපති දිවයිනේ’ ලිව්වේය.
අනෙක් අතට සුන්දර නිහතමානී ද මැල් නමේ හැටියටම ගල් ආඳා කුරියෙකි. ඒ යුගයේ දිවයින, ලක්බිම ලියූ අය ගැටි කෑවේය. නඩු දමාගත්තේය. බැණුම් ඇසුවේය. තර්ජන, මර්ධන, බිය ගැන්වීම්වලට ලක් වූවේය. මානි ඒ කිසිදු අපල උපද්‍රවයකට හසුවූයේ නැත. අතුරුදන් වූයේ හෝ බෝල්ට් තුවක්කුවෙන් පසාරු කර ගත්තේ හෝ අඩුම ගානේ ‘බැද්දගානේ සංජීව සැලූන් එකෙනන්’ රැවුළ කපා ගත්තේ හෝ නැත. නවක ලේඛකයෙකුගේ අතේ රෝලක් නිසා, ආණ්ඩුවේ කෝපයෙන් බේරාගැනීමට සඳහාම පාලන අධිකාරිය සුන්දර ගේ කර්තෘ ධූරය සති කිහිපයකට අහිමි කළ නමුත් එයින් ඔහුටවත් පත්තරයට වත් හානිය නොවූ තරම්ය.
අමතක වෙන්නට ඉස්සර මේ හාදයා ‘ජේ.ආර්., රෝනී ද මෙල්, ප්‍රේමදාස, විජේවීර, සිරිසේන කුරේ, කීර්ති විජේබාහු, චන්ද්‍රිකා, මංගල, එස්.බී., මහින්ද, ගෝඨා, රනිල් තබා සනත් ජයසූරියගෙන්වත් ගුටි නොකා, ප්‍රසිද්ධියේ බැනුම් නොඅසා සිටියාට ‘රෝහණ කීර්ති සකල කලා ජනරංජන’ වැනි ගෞරව නාමයකින් පිදුම් ලැබිය යුතුය.
සුන්දර නිහතමානී ගේ කතා කියවන මට ඉඳහිට ඇටමැස්සා කතාව මතක් වේ. 89 වැනිම අවිචාර යුගයක පාලකයාගේ වාරණයෙන්, ගහලයාගේ කඩුවෙන්, මර්ධනයෙන් බේරී ජනතාවට පණිවුඩයක් ගෙන යන්නේ , ලේඛනයේ නිරත වන්නේ කෙසේ දැයි ප්‍රඥාවන්තයින් සාකච්ඡාවක් පවත්වන්නේය. බොහෝ අය බොහෝ කතා කියද්දී, ජෙම්මා නිහඬ ය. අවසානයේ සියල්ල හැරෙන්නේ ජෙම්මා දෙසටය. අපි හාස්‍ය කතා ලියමු යැයි ජෙම්මා කියන්නීය. ‘ඇටමැස්සා’ ද සුන්දර සේ ම ගහලයාගෙන් බේරී පත්‍රිකා ලියන්නේ හාස්‍යය රසයෙන් ය. උඩින් හාස්‍ය ද, යටි පෙළ දේශපාලනය ද පත්තරවලට ගෙන නිදහස් අරගලය සමයේ ද ලංකාවට අළුත් දෙයක් නොවීය. එහි නොබෙල් තෑග්ගත් – ගිනස් සම්මානයත් -ග්‍රේෂන් පදක්කමත් ‘මානිගේ පවුලට’ ය.
මානි සිය තීරුව පටන් ගත්තේ ජෙම්මාගේ අදහස නිසා ද, නැතිනම් බිරිඳගේ හෝ මානි වෙනුවෙන් පොත් කියවන වෙනත් කෙනෙකුගේ උපදේශයක් නිසා දැයි පැහැදිලි නැත. ඇටමැස්සා ලියු හාස්‍ය කතා ද, මානිගේ තීරුවේ හාස්‍ය කතා ද වසර 36 ක් වාරණය කර ගත නොහැකි වූ වා පමණක් නොව වියැකී ගියේ ද නැත.
ඒ අතින් ගත් කළ, මේ ගල්ආඳා තරම් ‘සමාජ ඥාණන කාර්ය භාරය ඉටුකළ’ — සිය පාඨකයින් ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන ගිය පත්තරකාරයෙකු අද අච්චු ගහන පත්තරවලට කුරුටු ගාන්නේ නැත.
මානිගේ තීරුව පොත දොරට වඩිනු බලන්නට යන්නට සිටි නමුත්, මට හදිසියේ බදුල්ලට එන්නට සිදු විය. අතර මඟ දිගේ හිත හිතා ආවේ නිර්මාල් රංජිත් දේවසිරි හා මහින්ද දේශප්‍රිය පොරිසාදයින් දෙදෙනා දැන් මානි ගැන මොනවා කියනවා ඇද්ද? කියාය. මට කියන්නට තිබූ දේ ලියන්නේ ඒ නිසාය.
මේ රටේ තිබුණා කියන 76 වසරක සාපය සමයේ, වසර 36 ක් මානිගේ තීරුව ජාතික පුවත්පත්වලත්, සමාජ මධ්‍යයේත් අතුරු ආන්ත්‍රාවකින් තොරව වැජඹී ඇත. මානිගේ තීරුව කියවා හිනාවෙනු මිස, ලියන එකාගේ අඬු කඩන්නට හිතෙන තරම් මෝඩ පාලකයෙකු නම් මේ රටේ සිට නැති බව ‘බිග් කුච්චන්’ එකය.
රාජ්‍ය සේවකයෙකුගේ සාර්ථිකත්වය තීරණය වන්නේ ඔහුට විගණන විමසුමක්, වැඩ තහනමක්, අවවාද ලිපියක් දෙකක් තිබේද? නැද්ද? යන්න මත ය. දැන් කාලයේ නම්, සතියෙක් දෙකක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී තිබේ ද යන්න මත ය.
සාර්ථක පත්තරකාරයෙකු ගැන ඉස්සර තිබූ නිර්ණායක රැසක් වෙනස් කළ මිනිසා සුන්දර ය!
