ලංකාවේ 100 ඉක්මවූ වැඩිහිටි පුද්ගලයන් 547ක්!

ජාත්‍යන්තර වැඩිහිටි දිනය

-දිනේෂ් සමරකෝන්-

ශ්‍රී ලංකාවේ මේ වනවිට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුද්ගලයන් 547 දෙනකු සිටින බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

ඔවුන්ට මාසිකව රුපියල් 5,000 ක විශේෂ දීමනාවක් ලබා දෙනු ලැබේ. මීට අමතරව ඔවුන්ට වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව ද හිමි වන බවද සඳහන් වේ.

ඔක්තෝබර් 1 වැනිදා (අදට) යෙදී තිබෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව සිදු කරන වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල නිලධාරීන් මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ මීට අමතරව අඩු ආදායම්ලාභී වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් තවත් ලක්ෂ 10කට රුපියල් 5000 වැඩිහිටි දීමනාව ගෙවන බවය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) ඒ. ඒ. හේමා පෙරේරා මහත්මිය එහිදී සඳහන් කළේ 2040 වසර වන විට මෙරට ජනගහනයෙන් සෑම හතර දෙනකුගෙන් එක් අයකු වැඩිහිටියකු වන බවය.

-ලංකාදීප-

Social Sharing
අවකාශය ආර්ථික