
චතුරංග අබේසිංග සහ ජගත් මනුවර්ණ කියන මාලිමාවේ දෙන්න වසන්ත සමරසිංහගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ල අමුතු කතාවක් ගොඩනගනවා. ඒක මම කතාකරපු දේට වෙනස් දෙයක්. මම කිව්වේ ජවිපෙ ඇතුලේ ඉන්නේ සහ ඉන්න ඕනි සල්ලි බාගේ නැති හිඟන්නෝ නෙවෙයි කියල. යම් දේපලක් තිබ්බ මිනිස්සු ඒක ඇතුලේ හිටපු බව මම දන්නා නිසා සහ එහෙම තවත් අය ඉන්න පුළුවන් කියන උපකල්පනය තමයි මම එතන පාවිච්චි කළේ. සහ ධනවාදය ඇතුලේ නොනැසී පවතින්න (survival) මුදල් ඕනි කියන එක තවත් හේතුවක්. ඒ සටහන් පහල ඇති. කියවන්න.
හැබැයි චතුරංග – මනුවර්ණ තියරිය වෙනස් එකක්. එයාල කියන්නේ අතේ තියෙන තඹ සතයක් පොදු දේශපාලනය වෙනුවෙන් යොදවන්න ඕනි නැහැ කියන එක. එහෙම උනාම ඒවායේ ඇරියස් ඉල්ලනවා කියන එක.
හැබැයි තමන්ගේ තිබ්බ සහ තියෙන සත දෙක වියදම් කරලා වමේ හෝ දකුණේ දේශපාලන කරලා සමහර විට බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ ඉන්නවා. ඉඩම් කඩම් විකුණලා දේපල නැතිකරගත්ත දේශපාලනයට අනුරාගික වෙච්ච මිනිස්සු ඉන්නවා. ඇරියස් ඉල්ලන්නේ නැති. එතකොට එයාල…
කොතලාවල, ජයවර්ධන වගේ අය ඉන්නවා තිබ්බ දේ සමාජයට දීපු. එයාල…
සහ දේපල පැත්තකින් තියන්නකෝ. ජවිපෙ වෙනුවෙන් අනුරාගිකව (සහ වම වෙනුවෙන් අනුරාගිකව) ජීවිතේ දුන්න මිනිස්සු ඉන්නවා. ඇරියස් ඉල්ලුවේ නැති. ජවිපෙ විරුවෝ හැටියට එයාල සමරනවා. අප්‍රේල් විරුවන්. එතකොට එයාල…
ආයේ තවත් සමහරු කියනවා වසන්තට සල්ලි තිබ්බ නිසා එයා තමයි කැම්පස් ඉන්න කාලේ අපිටත් වියදම් කළේ කියල. ඒ පෞද්ගලික ධනය නේ. එතකොට…
2024 අනුර දිනපු ජනාධිපතිවරණේ වෙනුවෙන් අපේ කැම්පස් එකේ කට්ටිය තමන්ගේ සතේ වියදම් කරගෙන, වාහන වලට තමන්ගේ අතින් තෙල් ගහගෙන වැඩ කරනවා මම දැකල තියනවා. රත්නපුරේ ඈත ගම්වලට යනවා මම දැකල තියනවා. කිසිම ජයග්‍රහණයක් දකින්න නැතුවත් මිනිස්සු ස්වෙච්චාවෙන් වැඩකලා. සමහර වෙලාවට පක්ෂෙන් සල්ලි දුන්නද දන්නේ නැහැ. නමුත් මම නම් එහෙම අහල නැහැ. අමාරුවෙන් කරනවා කියල තමයි ඇහුවේ. ඒක එයාල දැම්මේ වම වෙනුවෙන් කරන ‘උත්තරීතර කැපකිරීමක්’ ප්‍රවර්ගයට.
කැපකිරීම කියන්නේ ආදරයේ සංකේතයක්. පරිත්‍යාගය කියන්නේ ශිෂ්ටත්වයේ ක්‍රියාවක්. ඒක දේවත්වය එක්කත් සමකරනවා. මාක්ස්වාදය මේ නිසා ‘කැපකිරීමේ ආර්ථිකය’ (economy of sacrifice) කියල වචනයකුත් හඳුන්වලා දෙනවා.
වමේ දේශපාලනයට උත්තරීතර බවක් ආදේශ වෙන්නෙත් මෙන්න මේ කැපකිරීමේ ආර්ථිකය නිසා. ඒක ආගමික දෙයකට සමානයි කියල සමහරු කියනවා.
‘මිනිස් පැවැත්මේ සත්‍යම සාරය සහ සතුට යනු අප සතුව ඇති සියලු සම්පත් ඔහේ කිසිම වැඩක් නැති දෙයක් වෙත විසිකිරීමය. ඇතුලාන්තයේ ඇති තුවාලයකින් පිටතට ලේ ගලන්නා සේ ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය’.
