සමරසිංහ සින්ඩ්‍රෝමය.

දැන් ටවුමේ කතාව තමයි වසන්ත සමරසිංහ සින්ඩ්‍රෝම් එක. ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ එක්ක වසන්ත සමරසිංහට සහ තවත් ජවිපෙ හෝ මාලිමාවේ අයට යම් යම් දේපල වත්කම් සහ ව්‍යාපාරික පසුබිමක් තිබ්බ කියන එක දැනගත්තට පස්සේ විරුද්ධ පක්ෂවල අයට ඒක මහලොකු අරුමයක් වෙලා කලිසමේ චූ කරගන්නා අතරේ හතර අතේ දුවන ගමන් ඒවා හැමතැනම ගා ගැනීම.

දැන් මෙච්චර කල් තිබ්බ ප්‍රශ්නේ උනේ ජවිපෙ කිසිම කෙනෙක්ට ව්‍යාපාරික පදනමක් නැහැ, සල්ලි ගණන්කරන්න දන්නේ නැහැ, එකවුන්ට් බැලන්ස් කරන්න බැහැ, විදේශ සම්බන්දතා නැහැ, අරක නැහැ මේක නැහැ කිය කියා දස අතේ යදින එක. ඒවා නැති නිසා ආයෙත් ඒ සියල්ල තියන කජු සීයා හරි මහින්ද මහත්තයා හරි ඕනි කියල වැළපෙන එක.

අන්ත වාමාංශික නිසා මේ දක්ෂිණාංශික ක්‍රමය දුවවන්න බැහැ. ඒ නිසා වහාම පුටුවෙන් බැහැල ගිහිල්ල සල්ලි ගණන්කරන්න දන්නා පරණ අය ඕනි කියන එක තමයි මෙයාලට ගෙනාපු ලොකුම විවේචනය උණේ. මම වුණත් එහෙම හිතල සහ කියල තියනවා. ක්‍රමය දුවවන්න ක්‍රමය දන්නා අය ඕනි කියල.

දැන් ඉතින් ඒ අමාරුව ඉවරවෙන්න ඕනිනේ එයාලගේ ඇත්තම පසුබිම එහෙම සල්ලි අතගාපු නැති හිඟන එකක් නෙවෙයි කියල ඔප්පු උනාම. ඒ උනාට තවම බුකියේ සහ වෙනත් තැන්වල නාහෙන් ඇඩිල්ල අවසානයක් නැහැ.

මෙහෙමයි… ෂෝ දාන්නේ නැතුව එයාල පසුබිම හදාගෙන තියනවා. එහෙම පෞරුෂය හදාගන්න හෝ වත්කමක් උපයාගන්න හෝ වෘතිත්මය වශයෙන් ඉහලට යන්න හෝ පක්ෂයවත් දේශපාලන මතයවත් එයාලට බාධාවක් වෙලා නැහැ කියන එකවත් තේරුම් ගනිල්ලාකෝ. ඇත්තටම එහෙම බාධාවක් නැහැ. ඒක තමයි ඇත්ත.

ක්‍රමයේ ඇතැම් ලක්ෂණ වලට විරුද්ධ වෙමින්, ඇතැම් ලක්ෂණ පවත්වා ගෙන යමින්, ඇතැම් තැන්වල අනුගත වෙමින්, ඇතැම් තැන්වල වෙනස්කම් කරගනිමින් ඔවුන් නූතනත්වය වෙත ගමන්කරලා තියනවා. ස්මාර්ට් වෙලා තියනවා.

හිටපු වැඩවසම් නායකයින්ටම කුර ගෙවෙනකම් සමහරු කඩේ ගිහිල්ල කඹුරලා ජීවිතේ අවුලක් කරගත්තට මෙතන එහෙම වෙලා නැහැ. පක්ෂය එහෙම එයාලගෙන් බලාපොරොත්තු වෙලත් නැහැ.
මේ වෙනස දන්නේ නැති අයට මේක අරුමයක් වෙන්න ඇති. දුක ඇති. හැබැයි දේශපාලනය නිසා තමන් විනාශ නොවී තමනුත් ගොඩයන ගමන් දේශපාලනයත් ගොඩදාපු කලාතුරකින් හම්බවෙන උදාහරණ දැක්කම අවුල් වගේ උනාට හෙමීට තේරුම්ගන්න බලන්න. එතකොට ඔය ආතති ගතිය මඟහැරිලා යයි.

(වසන්ත සමරසිංහ කියන්නේ මෙතන එක නමක් විතරයි). ජය!

-මහේෂ් හපුගොඩ-

Social Sharing
අවකාශය නවතම