
එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ මුහුදු තීරයට ඇතුළු වෙලා කරපු ව්‍යසනය වෙනුවෙන් ලංකාවේ උපරිමාධිකරණය X-Press Group එකට නියම කළ මූලික වන්දියේ පළමු කොටස ගෙවන්න දීපු අවසාන දිනයට තවත් තියෙන්නේ සතියක විතර කාලයක්.
සමාගම වන්දිය ගෙවන එකක් නැහැ කියල තීන්දුවෙන් පස්සේ සමහර මාධ්‍ය නාලිකා එහෙම සෑහෙන්න උඩ පැන්නත්, X-Press Feeders සමාගම අගෝස්තු 15 වෙනිදා නිකුත්කරපු නිවේදනයේ වන්දිය නොගෙවන බවට කිසිම සඳහනක් නැහැ. ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය පත්කරපු කොමිසමෙන් වන්දිය තවත් වැඩි කිරීම වලක්වා ගන්න සමාගම උත්සහයක් දරල තිබුණ.
ඒ අතරේ X-Press Pearl සමාගමේ ලංකා නියෝජිත Sea Consortium Lanka සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් දෙන්නෙක් පසුගියදා අත් අඩංගුවට අරගෙන පස්සේ ඇප පිට නිදහස් කරලා තිබුණ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරපු විදියට නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම – විශේෂයෙන්ම සිංගප්පූරුවේ නඩු පැවරීම – ඇතුළු දූෂණ, වංචා චෝදනා ගැන අල්ලස් කොමිසමත් CID එකත් අලුතෙන් පරීක්ෂණ ආරම්භ කළා ද කියල තවමත් දැනගන්න නැහැ.
ඒ වගේව තමයි මූලික වන්දියෙන් පස්සේ ඉතිරි වන්දි මුදල් ගැන තක්සේරු කරන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගේ ප්‍රධානත්වයෙන් පත්කරපු කොමිසම වැඩ ආරම්භ කළා ද, නැද්ද කියන එකත් තවමත් දැනගන්න නැහැ. අනික ශ්‍රේෂ්ඨාධිකරණය පත්කරන්න කියල නියෝග කරපු කමිටුවට මොකද වුණේ?
කොහොම හරි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා රටට වුණ හානිය වෙනුවෙන් වන්දියක් ගන්න උත්සහ කරනවා වෙනුවට පුද්ගලික වාසි ගන්න රනිල් වික්‍රමසිංහ පරිපාලනයේ නිළධාරීන් රනිල් ගේ අනුදැනුම ඇතිව උත්සහ කළත්, හේමන්ත විතානගේ සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු පරිසර යුක්ති කේන්ද්‍රය සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ ධීවර නායකයින්ගේ මැදිහත්වීම නිසා ඒ උත්සාහය ව්‍යවර්ථ කෙරුණ. එතෙන්දි මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් සහ ආචාර්ය අජන්තා පෙරේරා පෙනී හිටියෙ කවුරු වෙනුවෙන් ද කියල තවමත් පැහැදිලි නැහැ.
ව්‍යසනයෙන් අවුරුදු හතරකට පස්සේ හානි පූරණයේ එක් පරිච්ඡේදයක් අවසන්.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියටත් මේ කටයුත්තට මැදිහත් වෙන්න නියමිත වුණත් දැන් පන්දුව තියෙන්නේ පොලිසිය සහ අල්ලස් කොමිසම අතේ. ඩොලර් මිලියන 250ක අල්ලසක් දීල කියල හිටපු ඇමති විජේදාස රාජපක්ෂ කරපු ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ අතරමග නැවැත්තුවේ ඇයි කියන එක ගැනත් සමහර විට වෙනම පරීක්ෂණයක් කරන්න වෙන්නත් පුළුවන්.
ඒත් මේ සා දැවැන්ත ව්‍යසනයක් ගැන වගේම පෙර නොවූ, විරූ අකාරයේ දැවැන්ත අල්ලස් චෝදනාවක් ගැන රටවැසියන්ටත්, මාධ්‍යවලටත් එහෙම පිටින්ම අමතක වෙලා තිබුණ කියන එක අවුරුද්දක් පුරා ඒ ගැන ගවේෂණයක් කරද්දී මම දැක්ක. ඒ නිසාම මේ විමර්ශනය යටපත් වෙන්න ඉඩ නොදී නිරන්තරයෙන් ඒ ගැන සිහිපත් කිරීම වැදගත් කියල මට හිතෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක මගේ ගවේෂණයෙත් එක අදියරක් අවසන්. ඉතිරි අදියර ඊට වඩා දුෂ්කර වුණත් අපේ රටේ අනාගතය යහපත් කරන්න තිරය පිටුපස ඉඳගෙන වැඩකරන කණ්ඩායමක සහයෝගයෙන් අසීරුවෙන් වුණත් අපි ඒ අදියරෙත් හෙමින් හෙමින් ඉදිරියට යමින් ඉන්නවා.
මේ ගවේෂණයේදී මුල ඉඳලම නීතිපති දෙපාර්තමේන්තුව කළේ ඉල්ලන තොරතුරු ලබාදෙනවාට වඩා වචනවලින් සෙල්ලම් කරන එක. සිංගප්පූරුවේ නඩුවෙන් ඉල්ලලා තියන වන්දිය කීයද කියල අහපු කිසිම වෙලාවක නීතිපති දෙපාර්තමේන්තුව සෘජු උත්තරයක් දුන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ Spark Helmore නීතිඥ සමාගමට ගෙවපු මුදල කීයද කියල ඇහුවම නීතිපති දෙපාර්තමේන්තුව ඒකට උත්තර දීමත් මග ඇරිය. ඒ නිසා කැබිනට් press එකට ගිහින් මේ ගැන අහන්න මට සිද්ද වුණා.

– සරෝජ් පතිරණ
2025 සැප්තැම්බර් 16
