අපි ආයේ කවි ලියන්නේ නැහැ.. – මහේෂ් හපුගොඩ

පෙරටුගාමීන් නැත්නම් කුරුටුගාමීන් නැත්නම් අවසානයේ කුරුට්ටන් ලෙස ඔවුන්ගේම පිරිස් විසින් නාමකරණය කරන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කෙනෙක්ට යමක් උනොත් මමත් පුළුවන් හැටියට සහ අවස්ථාවේ හැටියට බුකියේ කවියක් සීපදයක් නැත්නම් හෑල්ලක් ලිව්වා. අරගලයට කලින් ඉඳන් සහ අරගලය දක්වාත් ඊට පස්සෙත් එහෙම කළා. දැනුත් උන්ගේ යක්කල තියනවා කියන කාර්යාලේට ගහල. හැබැයි මම කවියක් ලියන්නේ නැහැ.

කැරන් බ්ලික්සන් එයාගේ සුප්‍රසිද්ධ Out of Africa පොතේ මෙහෙම ලියනවා. ‘මට ඔබ ගැන (අප්‍රිකාව ගැන) කවියක් තිබේ. එහෙත් ඔබට මා ගැන කවියක් තිබේද?’

අපි ඔක්කොම දේශපාලනය කරන්නේ සහ එයට සහභාගී වෙන්නේ සමාන්තර ලෙස. හැම අදහසකින්ම සමාන නොවුනත් ඇතැම් තැන්වල අපි සමාන්තර ලෙස අසමාන්තර විශ්වයක ගමන් කරනවා. අසමාන එහෙත් සමාන දේවල් එක්ක අසමාන්තර සමානකම් හදාගන්නවා. කොජින් කර්තානි ඔය parallax වගේ අදහසක් ලෝකෙට ගේන්නේ බර්ලින් තාප්පය බිඳ වැටුනට පස්සේ තියන මේ සංකීර්ණ බව එක්ක.

වම කිව්වට තියෙන්නේ වමමත් නෙවෙයි. දකුණ කිව්වට තියෙන්නේ දකුණත් නෙවෙයි. මැද මාවතකුත් නෙවෙයි. තියෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද අපි කාටවත් පැහැදිලි නැහැ. යන්නේ කොහාටද කියලත් කියන්න හරියට බැහැ. ඒ නිසා මිතුරෝ සතුරෝ හරියට වෙන්කරන්නත් බැහැ. ගොඩක් සංකීරණ ලෝකයක් මේක.

රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ ජවිපෙටත් වඩා ෆෝම් උනේ පෙරටුගාමී එක. ජවිපෙ රනිල් හිරේදානවා වගේ එකක් කියන කොට පෙරටුගාමී එක කිව්වේ ආයේ එළියට එන විදියට හිරේදාන්න එපා කියල. ලංකාවේ නීතියට පවා පිටින් ගිහින් කිව්වේ සදාකාලිකව හිරේම තියන්න කියල. නයාට ගහල පොල්ල වරද්දාගන්න එපා කියල. වෙනත් විදියකට නැත්නම් කවියක හැඩයෙන් කිව්වොත් එයාල කිව්වේ හිරේදාල මදි එල්ලලා මරන්න කියල.

අලුගෝසුවනේ එල්ලාපන් කියල.

රනිල් කියන්නෙත් මේ වෙලාවේ විපක්ෂයේ දේශපාලඥයෙක්. එක දේශපාලන ව්‍යාපෘතියක නැගීම වෙනුවෙන් තවත් ව්‍යාපෘතියක ටාගට් එකක් වෙලා ඉන්න කෙනෙක්. මම කියන්නේ ඉතිහාසයේ ඇරියස් කවර්කරන එක ගැන නෙවෙයි. මේ මොහොත ගැන.

රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ පෙරටුගාමී එක කලේ ජවිපෙට වඩා ‘රැඩිකල්’ (මූලධාර්මික) වෙලා ජවිපෙ සහ වමේ කොටස් වල රනිල් විරෝධී කේන්තිය තමන්ගේ පැත්තට දිනාගන්න හදපු එක. නමුත් ඔවුන් එතැනදී අපිව (ඒ කියන්නේ ජවිපෙට වඩා ඉඳල හිටලා ඔවුන් වෙනුවෙන් අඩුම තරමේ කවියක්වත් ලියන, ෆොටෝ එකක් ෂෙයා කරන ඔවුන් නොවන අපි ගැන) අමතක කළා.

මාලිමාවත් එහෙම කළා. දැන් කියනවා විපක්ෂය එකතුවෙන්න ඕනිලු. ඕනි නැහැ. තනියම බුදුවෙලා පෙන්නපියව්!

අපි නැතුවට පෙරටුගාමී එකට දේශපාලන කරන්න බැරි වෙන්නේ නැහැ. නමුත් ඔවුන් දිහා බලන්ඉන්න ඔවුන්ම නොවන පිරිසක් ඉන්නවා ඔවුන් දිනාගත යුතු. රනිල්ගේ නිමේෂයේදි ඒක ගැන සහකම්පනයක් ඔවුන්ට තිබ්බේ නැහැ. කැරන් බ්ලික්සන් අප්‍රිකාවෙන් අහන්නෙත් එම ප්‍රශ්නයම තමයි.

අපි ගැන කවියක් නැති කෙනෙක් වෙනුවෙන් ආයේ අපි කවි ලියන්නේ නැහැ. ඒ එපා තට්ටේ පලපු එකාගේ ෆොටෝ එකක්වත් දාන්නේ නැහැ.

උඹල තනියෙන් බුදුවෙලා පෙන්නපල්ලා…

Image@Out of Africa (1985)

Social Sharing
අවකාශය නවතම