සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක්

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපි දැන් සැලසුම් කරලා තියෙනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිවත් විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කරන්න. විශේෂයෙන් ඔවුන්ට දඬුවම් දෙන්න. ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස නීතිය ඉදිරියේ තමා මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී සැලසුම් කරලා තියෙනවා විශේෂ මහාධිකරණ කිහිපයක්ස්ථාපිත කරන්න. අපි උත්සාහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව තිබෙන නඩු කඩිනමින් හා  කාර්යක්ෂම කරන්නත්. සමස්ත ක්‍රියාවලිය හරහා ඔවුන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන්න.”

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර තිබෙන බව පැවසීය.

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අදාළ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද හිමි වූ අතර, ඒ අනුව සැලැස්ම ක්‍රියාත්මක කළ බවත් මේ වනවිට අඩපණ වී තිබූ බුද්ධි අංශයේ යම් යම් කොටස් සක්‍රීය වී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

“නීතියට උඩින් කිසිවක් නෑ. කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අපිට අදාළ නෑ. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමානයි. මේ සමාජයට අපි ඒක භාවිතයක් විදියට ගේනවා. නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නෑ. ඒ ගැන අපි සමාජයට අවධාරණය කරනවා. අපේ තියෙන දේශපාලන උවමනාව තමා රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම. ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ. ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා.

Social Sharing
නවතම පුවත්