අධිකරණ කටයුතුවලට බාධා කල අය සොයා විමර්ශන, පොලිස් නිලධාරියාට පහරදුන් බවට සැකපිට අයෙක් අත්අඩංගුවට

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව කොටුව අධි­කරණයේ දී පැවති නඩු කට­යුත්තට බාධා ඇති වන පරිදි කටයුතු කළ අය සම්බන්ධව විමර්ශනයන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව, කොටුව අධි­ක­ර­ණය අස­ලට පිරිස් සංවි­ධා­නා­ත්ම­කව රැස්කර අධි­ක­රණ කට­යු­තු­ව­ලට බල­පෑම් එල්ල කළ විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් 20කට වැඩි පිරි­සක් බුද්ධි අංශ විසින් මේ වන විට පැහැ­දි­ලි­වම හඳු­නා­ගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

මේ අතර, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේය රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොටුව අධිකරණය අසල ඇතිව තිබූ නොසන්සුන්තාවය සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් දුන් නියෝ­ග­යට අනුව ඊයේ (27) වන විට  අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ද විම­ර්ශන ආරම්භ කර තිබිණි. බුද්ධි වාර්තා මෙන්ම විම­ර්ශන තොර­තුරු ඔස්සේ ද අධි­ක­ර­ණය අස­ලට පිරිස් රැස්කළ අය පැහැ­දි­ලි­වම හඳු­නා­ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රි­යෙක් දිනමින පුවත්පතට පවසා තිබුනි.

ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන්  සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යකු ඇතුළු කණ්ඩා­ය­මක් විසින් මේම විම­ර්ශ­නය සිදු කරන බවයි.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ඉකුත් 22 වැනිදා අධි­ක­රණ ශාලාවේ රැඳෙ­මින් එහි සිදු වන දෑ වීඩි­යෝ­ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රසිද්ධ කළ පුද්ග­ල­යන් සම්බන්ධව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ තවත් කණ්ඩා­ය­ම­ක් ­වි­ම­ර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

– ඡායා අන්තර්ජාලය

 

Social Sharing
නවතම පුවත්