
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 16කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන තිබේ. ඒ, අනුව එහි කැණීම්වලින් මේ දක්වා සොයාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව මෙරට දෙවැනියට විශාලතම සමුහ මිනී වළ බවට පත්ව තිබේ.
චෙම්මනි ප්‍රදේශයේ පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වන දා යළි ආරම්භ විය.
මේ දක්වා මිනිස් සිරුරු 166කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර මිනිස් සිරුරු 150කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැණීම් නිලධාරිහු සඳහන් කළහ.
ඔවුන් පැවසුවේ පස්වන අදියරේ කැණීම් කටයුතු සැප්තැම්බර් 7 වන දා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව ය.
මේ සම්බන්ධයෙන් සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් පස්වන අදියරේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ද කැණීම් නිලධාරීහු පැවසූහ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් කැණීම් කටයුතු කෙරේ.
කැණීම් කටයුතුවලින් හමුවූ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා තිබේ.

BBC සිංහල
