කුරුක්කල්මඩම් සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝග!

මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවන්චිකුඩි පොලිස් කොට්ඨාසය යටතේ පවතින කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීමට පෙරේදා (අගෝ. 25) සවස කළුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.

අගෝස්තු 25 වන සඳුදා දින කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීම පිළිබඳ නඩුව කළුවන්චිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අතර එහිදී කළුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අතර, පෙර නඩුවේදී අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ නීතිපතිවරයා කළුවන්චිකුඩි අධිකරණය විසින් 25 වන දා ම කළුවන්චිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබුණු නමුදු සඳුදා නඩුව කැඳවූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකු පැමිණ සිටියේ නැත.

විනිසුරුවරයාගේ නියෝගයෙන් පසු, ඊයේ පස්වරුවේ විනිසුරු ඒ.ජේ.පී. රංජිත්කුමාර් මහතා මිනිස් සොහොනක් යැයි සැක කරන ප්‍රදේශයට සෘජුවම ගොස් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්ගෙන් සහ පැමිණිලිකරු අබ්දුල් මජීඩ් අබ්දුර් රවුෆ් මහතාගෙන් මිනිස් සොහොනක් පිළිබඳ සැකය පිළිබඳව ප්‍රශ්න කර ඇත. ඔහු එම ප්‍රදේශ පරීක්ෂා කළ අතර ඒවා කැණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට සහ අධිකරණ වෛද්‍ය පොලිස් නිලධාරීන්ට නියෝග කළා.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස් මොරාක් රහීම් ඇතුළු එහි නිලධාරීන් පැමිණ සිටි අතර පැමිණිලිකරු අබ්දුල් මජීඩ් අබ්දුර් රවුෆ්, කළුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති ජී. ගජනායක, පොලිස් අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ නීතිඥයෝ අධිකරණයට පැමිණ සිටියහ.

විනිසුරුවරයා එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට කැඳවා  අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර කුරුක්කල්මඩම් අපරාධ ස්ථානයක් බැවින් මිනිස් සොහොනක් යැයි සැක කරන ප්‍රදේශ ආරක්ෂා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙන අතර ඉඩම වගා කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත. මිනිස් සොහොනක් යැයි සැක කෙරෙන ඉඩම කිසිදා කිසිවෙකුට අත්පත් කර ගත නොහැකි බවත්, මෙම ඉඩමේ හිමිකරු කිසිවකට බිය විය යුතු නැති බවත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පැහැදිලි කළා.

නඩුව අද දිනය (26) දක්වා කල් තබන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ.

1990 වසරේ ජූලි මස 12 වන දින හජ් වන්දනාව අවසන් කර නිවසට පැමිණි කාත්තන්කුඩි හි හජ් වන්දනාකරුවන් සහ වෙළඳුන් සියයකට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කර කල්මුනේ-මඩකලපුව මාර්ගයේ කුරුක්කල්මඩම් නම් ස්ථානයක එම සිරුරු වළලා ඇති අතර පසුව වින්දිත අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලුවන්චිකුඩි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඒ මත පදනම්ව, මෙම නඩුව 2014 දී කලුවන්චිකුඩි සංචාරක අධිකරණයේ ගොනු කර තිබේ. අනතුරුව සැක සහිත මිනිස් සොහොනක් පිහිටා ඇති බවට සැක කරන ස්ථානය කැණීම් කර අධිකරණයට වාර්තා කිරීමට අදාළ රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලට මූලික පියවර ගන්නා ලෙස නියෝග කර ඇතත් 2020 වසරේ ඔක්තෝම්බර් හතරවන දා නීතිපතිවරයා විසින් කලුවන්චිකුඩි පොලිසියට ලබා දුන් උපදෙස් අනුව නඩුව අත්හිටුවනු ලැබූවා.

Social Sharing
අවකාශය නවතම