
මිනිස් වෙළඳාම නැතහොත් තැනැත්තන් වෙළඳාම යනු රට තුළ සහ දේශසීමා හරහා සිදුවන සංවිධානාත්මක අපරාධයකි. එය පිරිමින්ට, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව බලපෑම් ඇති කරන වරදක් වන අතර ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. මිනිස් වෙළඳාම විවිධ ස්වාභාවයන්ගෙන් යුක්ත විය හැකි අතර බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම සහ ලිංගික සූරාකෑම මෙයට ඇතුලත් වේ. මෙය අතීතයේ පැවති වහල් සේවයට හා සමාන අපරාධයක් වන අතර මෙහි පවතින සංකීර්ණභාවය නිසාවෙන්ම එය නූතන වහල් සේවය බවට පත්ව තිබේ.
2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 360 ඇ (1) වගන්තිය යටතේ තැනැත්තන් වෙළෙදාම පිළිබඳව පුළුල් වශයෙන් නිර්වචනය කර ඇත. එමගින් තැනැත්තන් වෙළෙදාම යන අපරාධය යටතේ ආවරණය වන විවිධාකාර සූරාකෑමේ ස්වරූපයන් මොනවාද මෙන්ම අපරාධකරුවන්ට ලබාදිය හැකි අවම සහ උපරිම දඬුවම් ද පැහැදිලිව සඳහන් කර ඇත. මේ යටතේ තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ වරද සිදු කරන යම් තැනැත්තකු වරදකරුවකු කරනු ලැබූ විට අවම දඬුවම අවුරුදු දෙකක් සහ උපරිමය අවුරුදු විස්සක් වන්නා වූ සිරදඬුවමකට ලක් විය හැකිය. මෙය දඩයක්ද සමග එකට නියම කළ හැකිය. තවද ළමයෙකු සම්බන්ධයෙන් එම වරද සිදු කරනු ලබන අවස්ථාවක දී අවම දඩුවම වසර තුනක සහ උපරිමය අවුරුදු විස්සක් දක්වා වැඩිකර ඇත.
මිනිස් වෙළඳාම සහ මිනිස් ජාවාරම යනු එකිනෙකට වෙනස් අපරාධයන් ද්විත්වයකි. සමාජයේ මෙම අපරාධයන් සම්බන්ධව පවතින්නේ එකම අදහස වුවත් මිනිස් ජාවාරම යනු නීතිවිරෝධී ලෙස සිදුවන දේශසීමා තරණයයි. මෙහිදී ජාවාරම්කරුවා සයුරෙන්, ගුවනින් හෝ ගොඩබිමෙන් තම මව් රටේ පවතින නීතී හා වෙනත් රටක පවතින ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් එම රටට ඇතුළත් වීමට ඉඩ සැලැස් වීමක් සිදු වේ. මෙහිදී මිනිස් ජාවාරමට ලක් වන්නා සිය කැමැත්තෙන් ඉදිරිපත්වන අතර මිනිස් වෙළඳාමට හසුවන්නන් රැවටීමකින්, වංචනික සහගත ලෙස හෝ බලහත්කාරයෙන් මෙම අපරාධයේ වින්දිතයෙක් බවට පත් වේ.
මිනිස් වෙළෙදාම වර්තමානය වනවිට නව ස්වරූපයක් ගන්නා අතර උදාහරණයක් වශයෙන් අග්නිදිග ආසියාතිකරයේ රටවල් තුල Crypto ව්‍යවහාර මුදල් වංචා කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් තරුණ තරුණියන් පිරිසක් බොරු පොරොන්දු ලබාදීමෙන් රැකියාවන්ට බඳවා ගෙන ඔවුන්ව එම කලාපයේ පිහිටා ඇති Golden Triangle නමැති විශේෂ ආර්ථික කේන්ද්‍රයේ සිරකරගෙන, තැනැත්තන් එක් ස්වරූපයක් වන බලහත්කාරයෙන් වෙනත් අපරාධ වල (Trafficking for forced criminality) යොදවා ඇති අතර මෙහිදී අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයන් ඔස්සේ පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් මෙම විශේෂ ආර්ථික කේන්ද්‍රයේ පිහිටා ඇති නීති විරෝධී සයිබර් කඳවුරු වෙතආයෝජනය කිරීමට මුළා කරමින් මූල්‍යමය වංචා සිදු කිරීමට, ඔවුන්ව බලහත්කාරයෙන් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන ආකාරයට අනුව වසරකට ලියාපදිංචි ශ්‍රමිකයන් 300,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් සංක්‍රමණික වන අතර බොහෝ විට ලේඛනගත නොවූ ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් ප්‍රමාණයක් ද සිටින බවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ ව්‍යාජ ආයතන හා පුද්ගලයින් සහ තැරැව්කරුවන් විදේශ සේවා ඒජන්සි ලෙස පෙනී සිටමින් ඔවුන්ගේ දිළිඳුභාවය ප්‍රයෝජනයට ගනිමින් මෙරට අසරණ ප්‍රජාව විදේශගත කරයි.
මේ ආකාරයට අවිධිමත් ලෙස මෙරටින් විශේෂයෙන් සංචාරක වීසා (Visit visa) ඔස්සේ විදේශ රැකියා සඳහා මැද පෙරදිග සහ අග්නි දිග ආසියාතික රටවල් සඳහා සංක්‍රමණික වේ. ශ්‍රම සූරාකෑම යටතේ වැටුප් ලබා නොදීම පමණක් නොව, කොන්ත්‍රාත්තුවේ සඳහන් රැකියාව වෙනුවට වෙනත් රැකියාවක නිරත කරවීම, එකඟ වූ රැකියා වේලාව හෝ කාල සීමාවන් ඉක්මවා වැඩ ගැනීම, සේවා යෝජකයා විසින් සේවකයන් වෙත මානසික හා ශාරීරික හිරිහැර පැමිණ වීම, සේවකයාට රැකියාව කරන ස්ථානයෙන් එළියට ගමන් කිරීමේ නිදහස නොමැති වීම සංක්‍රමණිකයාගේ හැඳුනුම්පත් හෝ ගමන් බලපත්‍ර සේවා යෝජකයා යටතේ තබා ගැනීම වැනි තත්ත්වයන්ට පත් කරයි.
මිනිස් වෙළෙදාම්කරුවන්ගේ ගොදුරු ලෙස හසු වන්නේ අඩු හැකියාවන්, කුසලතා, අධ්‍යාපන මට්ටම් සහිත සංක්‍රමණිකයන් පමණක් නොවේ. විවිධ සමාජ මාධ්‍ය ජාලා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ පවත්වා ගෙන යන රැකියා සම්බන්ධ වෙබ් අඩවි ඔස්සේ ද ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයින් රවටා නීත්‍යානුකූල රැකියා ලබා දෙන ආකාරයට සම්මුඛ පරීක්ෂණ පවා පවත්වා මිනිසුන් වෙළෙඳාමට ලක් කළ අවස්ථා මෑතකදී විශාල ලෙස වාර්ථා වේ.
ශ්‍රී ලංකාව තුළ ද මිනිස් වෙළඳාම පවතින අතර බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල සිට බොහෝමයක් කාන්තාවන් නාගරික රැකිය සඳහා පැමිණෙන අතර බොහෝ විට ඔවුන් රූපලාවන්‍යාගාර, සම්බාහන මධ්‍යස්ථාන සහ ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට බැඳෙන අතර එයින් ඔවුන්ගේ ශ්‍රමය පමණක් නොව ලිංගික සූරාකෑමකට ද ලක්වේ. තවද බලහත්කාරයෙන් කම්කරු සේවයේ යෙදවීම හෝ නිවෙස්වල මෙහෙකාර සේවයේ යෙදවීම පමණක් නොව කුඩා දරුවන් සිඟමනේ යැවීම ද මෙම මිනිස් වෙළඳාමේ විවිධ ස්වරූපයන්ය.
මෙම අපරාධයට ලක් වන වින්දිතයකු හෝ මහජනතාවට මේ පිලිබද වාර්තා කළ හැක්කේ හෝ සහය ලබා ගත හැක්කේ කෙසේද?
මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකායේ (National Anti Human Trafficking Task Force) මුලසුන දරන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. මෙම කාර්යය සාධක බලකායේ රාජ්‍ය ආයතන 21 පමණ සාමාජිකත්වය දරනු ලබයි. මෙම අපරාධය පිළිබඳව තොරතුරු ලබා දීමට, පැමිණිලි යොමු කිරීමට හෝ අවශ්‍ය සහය ලබා ගැනීමට එම කාර්යය සාධක බලකාය සමග 076 844 7700 දුරකථන අංකය හෝ https://nahttf.gov.lk/ වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක.
මිනිස් වෙළඳාම පිළිබඳ පැමිණිළි කළ හැකි ආයතන
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය – 0766 588 688
ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව කාර්යය සාධක බලකාය පිහිටුවා ඇති ක්ෂණික දුරකථන ඇමතුම් ໐໑໖ – 076 844 7700
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය – 1929
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය – 109
විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) – 1989 / 011 288 0500
මින් පෙරද අප විසින් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් සිදුකළ ලිපිය පහතින්
