ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව දරුවන් බිහිකිරීමට මැළිතාවයක්! – UNFPA වාර්තාව පවසයි

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය වර්තමානයේ 1.9ක් බවට පත්ව තිබේ. මේ බව ජූලි 15 වන දින එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් වාර්තාවක් එළිදැක්වූ මොහොතක ප්‍රකාශ වූ අතර ඒ අනුව උපත් අනුපාතිකය පැවතිය යුතු මට්ටමෙන් දශම තුනකට අසන්න සංඛ්‍යාවකින් පහත ගොස් ඇති බව සඳහන් වීය. ඒ, “THE REAL FERTILITY CRISIS” ලෙස නම් කර තිබූ වාර්තාව එළිදැක්වීමේදී ය. මෙම අනුපාතිකය පැවතිය යුතු අගය වන්නේ 2.1ක් ලෙසය.

මෙම අවස්ථාවට සහභාගී වූ කථිකයෝ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග කළ සාකච්ඡාවලදී ඊට සහභාගි වූ බහුතරයක් පවුලක් ගොඩ නැගීමට කැමැත්තක් දක්වන නමුත්, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මැළීකමක් දක්වන බවයි.

වාර්තාව එළිදැක්වීමට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වී ඇති බවත් මේ නිසා නිවාස සඳහා දැරීමට වන වියදම, ආහාර සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස් පවුලක් ගොඩ නැගීමට බලාපොරොත්තුවක් තිබුණ ද එය තාවකාලිකව නවතා ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. තවද තරුණ පිරිස් දරුවන් බිහි කිරීමට කැමැත්තක් දක්වන නමුත් ඔවුන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ඔවුන් බිහි නොකරන බව ද ඔහුගේ ප්‍රකාශයේ ඇතුළත් වී ඇත.

දරුවන් ලැබිය හැකි වයසේ පසු වන වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 20%ක් විශ්වාස කරන්නේ, තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇතැයි යන්න බව වාර්තාවෙන් අනාවරණය කර ඇත. මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට පැමිණ සිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවුල් ගොඩ නැගීම සම්බන්ධයෙන් නවමු අවධානයක් යොමු කළ යුතු බව ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අඩුබර උපත් ප්‍රමාණය 14.6%ක් දක්වා ඉහළට ගොස් ඇති බව මෙම වාර්තාවේ සඳහන් වී ඇති අතර තරුණ පිරිස් දරුවන් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් ආර්ථික බාධක, සුදුසු රැකියාවක් සොයා ගැනීමට ඇති බාධා, රැකියාව තුළ ඇති අනාරක්ෂිත බව, දරුවෙකු උස් මහත් කිරීමට අවශ්‍ය මුදල් නොමැතිකම, දරුවෙකුට අධ්‍යාපනය ලබා දීමට සිදුවන ආකාරය, ඉහළ ජීවන වියදම හා නිවාස ප්‍රශ්න නිසා ඔවුන් දරුවන් ලැබීම සම්බන්ධයෙන් අධෛර්යමත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත. තවද කල් ගත වන අධ්‍යාපන ක්‍රමවේදයක් සමඟ මෙරට බොහෝ තරුණ කාන්තාවන් වර්තමානයේ අධ්‍යාපනය ලැබීමට වැඩි නැඹුරුවක් දැක්වීම ද දරුවන් ලැබීම අඩු වීමට හේතුවක් වී ඇති බව ද මෙහිදී ඉස්මතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පර්යේෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පවසා සිට ඇත්තේ ඉහත සඳහන් කළ හේතු නිසා දරුවන් බිහි කිරීම කල්දැමීම, පවුල් ගොඩ නැගීම ප්‍රමාද කිරීමට ගනු ලබන තාවකාලික තීරණ ස්ථිර තීරණ බවට පත් වීම සැබෑ අර්බුදයක් බව ය. තරුණ පිරිස් එසේ කරන්නේ, පවුලක් ගොඩ නැගීමට අපේක්ෂා නොකරන නිසා නොව වර්තමානයේ පවත්නා ආර්ථික හා සමාජීය අර්බුදයන් එසේ කිරීමට ඔවුන්ට බල කරන නිසා බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අරමුදල විසින් තරුණ උපදේශන වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කරනු ලැබ ඇති අතර, ඒවාට සම්බන්ධ වූ තරුණ පිරිස්වලින් 65%ක් දරුවන් බිහි කිරීමට අපේක්ෂා කරන බව පවසා තිබේ.

කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළට ගොස් ඇති අතර “THE REAL FERTILITY CRISIS” වාර්තාවේ ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තවත් දත්ත පිළිබඳ සඳහන් කර ඇති අතර, එහි ඇති එක් වැදගත් කරුණක් වන්නේ, ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව පිළිබඳ දත්තයි. ඒ අනුව, පිරිමින්ගේ ආයු අපේක්ෂාව 75ක් ලෙස ද, කාන්තාවන්ගේ 81ක් ලෙස ද එහි සඳහන් වේ.

උපුටා ගැනීම BBC සිංහල

 

Social Sharing
අවකාශය නවතම