1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව තේ කිලෝග්‍රැම් 1ක් මත රු.3/- ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙම බලපත්‍ර ගාස්තුව තේ වගාවේ සහ තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට අදහස් කරන බවත් නිලධාරීන් ප්‍රකාශ කර ඇත. එම අරමුදල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පිහිටුවන ලද ප්‍රාග්ධන අරමුදලට බැර කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
තේ වතු නැවත වගා කිරීම සහ අතහැර දැමූ වතු නැවත වගා කිරීම තුළින් තේ වතුවල ඵලදායිතාව වැඩි දියුණු කිරීමට මෙන්ම තේ කර්මාන්තශාලාවල කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවස්ථා උදා වෙන බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් පවසා ඇති අතර තේ සඳහා පනවන ලද සෙස් බද්දෙන් ලැබෙන ආදායම කර්මාන්තයේ සංවර්ධනය සඳහා වෙන් නොකිරීම පිළිබඳව ගැටළු මතු වූ අතර නිලධාරීන් සඳහන් කර සිටියේ ඒවා තම මණ්ඩලයට නොලැබෙන බවයි.
ඒ අනුව අපනයන සංවර්ධනය උදෙසා පනවා ඇති එම සෙස් බද්ද මගින් ලැබෙන අදායම ඒ ඒ අදාළ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ලබාදීමේ වැදගත්කම කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. මේ අතර 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනතේ යල් පැන ගිය විධිවිධාන සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා වූ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කර තිබෙනවා.
මෙම ආඥා පනත සංශෝධනය කිරීම හරහා, වංචනික සහ වැරදි චෙක්පත් නිකුත් කරන්නන් මත අපරාධ වගකීම පැනවීමටත්, එදිනෙදා වාණිජ කටයුතුවලදී විනිමය බිල්පත් නීත්‍යානුකූලව භාවිත කිරීමට පහසුකම් සැලසීමටත්, චෙක්පත් විද්‍යුත් වශයෙන් ඉදිරිපත් කිරීමට අදාළ ක්‍රියා පටිපාටි සැපයීමටත් හැකි වන බව නිලධාරීන් කමිටුවට දැනුම් දුන්නා. තවද, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා සහ කාරක සභා රැස්වීම්වල වාර්තා සැකසීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා ආරක්ෂිත AI වේදිකාවක නියමු පරීක්ෂණයක් ද මෙම රැස්වීමේදී සාර්ථකව සිදු කර තිබෙනවා.

