පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක්  ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ  ඊයේ සිට තහනමට ලක් කර ඇත.

පූගොඩ, මණ්ඩාවල කන්ද පාර පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාරට මුදල් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කර ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පහර දී තිබුණි. එහීදී පූගොඩ පොලිසියද පැමිණ ඔහුගේ උදරයට පයින් ගසමින් පොලිස් අත්අඩංගුවට ගත් බව ගයාන්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණාය.

මණ්ඩාවල ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු විසින් දිනපතාම මත්ද්‍රව්‍ය වලට පුරුදු වූ අයට  උදෑසන මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් ලබා දී ඉන්පසු එම පුද්ගලයා විසින් බාර ගනු ලබන කුලීවැඩ සඳහා එම  පුද්ගලයින් යොදවනු ලබයි. මෙම ගයාන්ද මොහු අසල එලෙස වැඩ කරන්නෙකු වූ අතර පහුගිය 11 දා පැවරී ඇත්තේ අසල්වැසි නිවසක සිමෙන්ති ගල් බෑමටය. ගයාන් හා තවත් පුද්ගලයෙකු එලෙස එම නිවසේ වැඩ කරමින් සිටියදී එම නිවසේ යතුරුපැදියක බෑගයක් තුල තිබු මුදලක් නැති වී ඇත. ඒ බව නිවසේ හිමිකරු විසින් නිවසේ වැඩට සේවකයින් ගෙන ආ පුද්ගලයාට දන්වා තිබේ.

ඒ අනුව ඔහු ගයාන් ගැන සැක සිතා ඔහුව රැගෙන ගොස් පහර දී මුදල් ගැන විමසා ඇත. පසුව ඔහු විසින්ම නිවසට ගයාන්ව රැගෙන ආ අවස්ථාවේ පූගොඩ පොලිසියද ගයාන් සොයා නිවසට පැමිණ ඇත්තේ මුදල් සොරකම් කළ බවට වැඩ කළ නිවසේ පුද්ගලයින් කළ පැමිණිල්ල මතය.

එහිදී පූගොඩ පොලිසීයේ ස්ථානාධිපතිවරයා ගයාන්ගේ උදරයට පා පහරවල් තුනක් ගැසු බවත් එහිදි ගයාන් සිව්වරක් වමනය දැමු බවත් ගයාන්ගේ බිරිඳ හා අම්මා පවසයි.

ඒ සෑම අවස්ථාවකම ගයාන් පවසා ඇත්තේ තමන් මුදල් සොරකම් නොකළ බවය. පසුව 11 දා ඔහුව පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසියට ගිය  ගයාන්ගේ ඥාතීන්ට පොලිස් සිර මැදිරිය තුල සිටි ගයාන්ව බැලීමට ඉඩනොදුන් බවත් ඔවුන් කියා සිටියි. මේ අතර ඔහුව අසනීප වීම නිසා රාගම රෝහලට ගෙන ගොස් තිබියදි මරණයට පත් විය.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතා වෙත පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් මාරපන මහතා  පත් කිරිමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පියවරගෙන තිබුණි. ඒ අනුව තිලක් මාරපන මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගම්පහ පොලිස් කොට්ඨාශය වෙත එවීමට කටයුතු කර තිබුණි.

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිස බලය අනිසි ලෙස භාවිතා කර ඇති බව මෙහිදී ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද  පවසා තිබුණි.

එකී සහකාර පොලිස් අධිකාරිවරයා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ රාජකාරී පැහැර හැරීම, අසනීප වූ සැකකරු පැය 13 ක් පමණ සිර මැදිරියේ රඳවාගෙන සිටිමින් ප්‍රතිකාර වලට යොමු කිරීමට ප්‍රමාද කිරිම ආදී ය සිදුව ඇති බවය. ඒ් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිව සිටි ඩබ්ලිව්.එම්.එස් වන්නිආරච්චි හා පොලිස් සැරයන් මොහොමඩ් සම්සූදීන් යන අයගේ වැඩ තහනම් කිරිමට පියවර ගෙන ඇත. මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මන්නාර කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරී සඳහාද අනියුක්ත කර ස්ථාන මාරු කර තිබුණේ ඊයේ (17) දිනය.

මේ අතර විමර්ශන වලදී අනාවරණය වු වැඩිදුර කරුණු මත වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන්වරයා ඊයේ සවස අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබුණි.

එමෙන්ම මියගිය ගයාන්ට පොලිසියට ගෙන යාමට ප්‍රථම පහරදුන් ප්‍රදේශවාසින් හත් දෙනෙකුද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

-ශානිකා-

Social Sharing
නවතම