පසුගිය කාලේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිලිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත භාරදීමට අද දින කටයුතු කර ඇත.
නිසි නියාමන ක්‍රමවේදයකින් තොරව ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු රට පුරා සිදු කිරීම නිසා, එය විශාල ව්‍යසනයක් දක්වා ගමන් කර අති විශාල වින්දිතයන් ප්‍රමාණයක් බිහිවිය.
මේ පිළිබඳ මාතෘකාව 2018 වර්ෂයේදී කරළියට පැමිණි අතර එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ මංගල සමරවීර මහතා විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය සඳහා නීති රාමූ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය කරළියට ගෙන එමින් නව පනත් කෙටුම්පතක් සෑදීමට අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය වෙත ලබාදී තිබිණි. කෙසේ වෙතත් වසර පහකට පසු එනම් 2023 වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය රජය කටයුතු කර තිබිණි. එහෙත් එම පනත් කෙටුම් පත සම්පාදනය කිරීමේදී, එම පනතෙන් බලපෑමට ලක්වන පාර්ශවයන් හා නියමිත ප්‍රතිචාරයක් ( consultation ) සිදු නොකොට පනත ගෙනා බවට සමාජය තුළ විශාල කථිකාවක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම පනත් කෙටුම්පතට එරෙහිව ක්ෂුද්‍ර මූල්‍යය වින්දිතයන්, ප්‍රජා මූල සංවිධාන ඇතුළු සිවිල් නියෝජිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කෙරෙනි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගයේ අවසානයේදී පනතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු ලබාදුන් අතර, පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් එම පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස රජයට බලපෑම් එල්ල විණි. ඒ අනුව එවක රජය විසින් පනත තාවකාලිකව හකුලා ගැනීමට කටයුතු කළේය. පසුව මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් අමාත්‍යංශයේ කටයුතු කළේය.
ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා හා සෙසු සමාජිකයින් ලෙස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂකා ලක්මිණි ගුණවර්ධන, මුදල් අමාත්‍යංශයයේ නීති නිලධාරිනී සුජීවා විජයලත් මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නීති අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රියදර්ශනී මහත්මිය, බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන අංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක තරංග විජයකෝන් මහතා , ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන සංගමය නියෝජනය කරමින් අනුර අතපත්තු මහතා, සිවිල් සංවිධාන නියෝජනය කරමින් රේණුකා භද්‍රකාන්ති මහත්මිය, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ සංගමය නියෝජනය කරමින් සුනෙත් අරුණ කුමාර මහතා හා ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය නියෝජනය කරමින් ආචාර්ය අමාලි වෙදගෙදර මහත්මිය ඇතුළු නම දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළේය.
මාස පහක පමණ සාකච්ඡා වලින් පසුව ඔවුන් විසින් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන සහ සලකා බැලිය යුතු සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳව වාර්තාව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා වෙත භාරදීම ඊයේ (09) දින සිදු කළේය.
මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ආරන්දර මහතා, කමිටුවේ කැඳවුම්කරු ලෙස ක්‍රියාකල රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ලසඳමලා මුහන්දිරම්ගේ මහත්මිය, එම කාර්යාලයේ සංවර්ධන නිලධාරි එරන්දි පීරිස් මහත්මිය සහභාගි විය.