මාලිමාව තුල අනුරට අවධානමක්?

ආර්ථික අර්බුදයේ අවසන් ප්‍රථිපලය දේශපාලන අර්බුදයක් කියලා දැන් කාටත් අත්දැකීමෙන් තේරෙනවා. ඒ අර්බුය රටකට විතරක් නෙවෙයි දේශපාලන පක්ෂවලටත් පොදුයි. 2022 ක ආර්ථික අර්බුදයෙදී දී රටට උනදේ සහ පාලක පොදුජන පෙරමුණට උනදේ අපි පියව් ඇසින් දැක්කා. මේ  වගේ තත්වයක් හෙට දවසේ රටටත් පාලක ජනතා විමුක්ති පෙරමුණටත් උදාවෙන්න පුළුවන්. මේ ආර්ථික අර්බුදයට ජවිපෙ දෙන උත්තරයත් එක්ක ඉදිරි දේශපාලන අර්බුදයේ හැඩතල වටහා ගන්න පුළුවන්.

මාලිමා ආණ්ඩුව හැදිලා තියෙන්නේ ජවිපෙ සහ මාලිමාවේ එකතුවකින්. පැහැදිළිවම එකිනෙකට වෙනස් මතවාද දෙකක් දරන කණ්ඩායම් දෙකක් එකට එකතු වෙලා. දැනට දෙකම එක පීල්ලේ ගමන් කරනවා. ඇත්තටම මේ ගමනේ දුර කොච්චරද කියලා ආර්ථික අර්බුදයේ ආරම්භයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට හැරීමත් ඒක ඒ දේශපාලන අර්බුදය මාලිමාවේ ඇතුලටත් බලපානවා.

තවමත් රනිල්ගේ පෙට්‍රල්වලින් දුවන මේ ආණ්ඩුවට තවම ලොකු අර්බුදයක් මතුවෙලා නෑ. හැබැයි අයවැයෙන් පස්සේ බරපතල ආර්ථික අර්බුදයක පෙරනිමිති දැනටමත් පහළ වෙලා ඉවරයි. දැන් ඇමතිවරු බැරිකම කියන්න පටන් අරන්. ආණ්ඩුව මෙතෙක් වහසි බස් දොඩපු කොටස් වෙළඳපොලො කඩාවැටීම ආරම්භ වෙලා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අයවැයෙන් පස්සේ බොහෝ දුරට වෙනස් වෙයි. ලොකු අර්බුදයක් නැති තත්වයක් යටතේ උනත් ජවිපෙ සහ මාලිමා අතර යම් පමණකට මත ගැටුම් වර්ධනය වෙලා.

විශේෂයෙන්ම අගමැති හරිනි. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර වගේ අය ජවිපෙ මතයට එරෙහි මතයක් දරන බව දැන් පේනවා. ආණ්ඩුව ඇතුලේ සහ එලියේ ඉන්න මාලිමා කණ්ඩායම් ඊට සහය දෙන බවත් පේනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙනත් මැති ඇමතිලා හරහා කරන බලපෑම ජවිපෙ පැත්තෙන් වැඩිකරලා තියනවා. අධ්‍යාපන ඇමති හරිනි අභිබවා යන මැදිහත්වීම් සිද්ධවෙනවා. හරිනි විශේෂයෙන්ම තානාපති අංශ තුල බරපතල විදිහේ තහවුරුවීමක් හදාගනිමින් ඉන්නවා.

ජවිපෙ ඒක තව කොයිතරම් කල් ඉවසයිද කියලා කියන්න බෑ. හරිනිගේ තියන භාෂා හැකියාව සහ ප්‍රියමනාප බව ඒ ආකර්ෂණය දිනාගන්න ලොකු පිටුවහලක් වෙලා තියනවා. හරිනිට ඉතා සමීප විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ජවිපෙන් වේගයෙන් ඈත් වීම සහ එයාලගේ නිර්ධය විවේචනයට මාලිමා ආණ්ඩුවේ ජවිපෙ පාර්ශ්වය ලක්වෙලා තියනවා. හරිනිගේ මහ ඇදුරු නිර්මාල් රංජිත් දේවසිරි මෙතනදී ප්‍රධානයි. නිර්මාල් තමයි ජවිපෙ සාමාජිකයෙක් උන සපුමල් රංවලගේ ආචාර්ය උපාධිය ගැන ප්‍රශ්නය එළියට ගත්තේ.

ඒ වගේම පහුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කරලා තිබූණ IMF විරෝධී රැස්වීමක් ජවිපෙ බලපෑමෙන් නතර කළා. එතනදී පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඉදිරියට ආවේ නිර්මාල්. නිර්මාල් එතනදී ආණ්ඩුවට අභියෝග කළේ කොළඹ විශ්ව විද්‍යාලනයේ නිර්මාල් කරන IMF විරෝධී රැස්වීම පුළුවන්නම් නවත්තන්න කියලයි. නිර්මාල්ගේ මතයට බොහෝ දුරට සමාන මතයක් දරන හරිනි ඇතුළු ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම තවමත් ආණ්ඩුව ඇතුලේ නිහඩ පිලිවෙතක් අනුගමනය කරනවා.

පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සෙල්ලා මාලිමාව සහ ජවිපෙ ඇතුලේ ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව ප්‍රබල සංවාදයත් තිබුණා. යම් විදිහකින් 113 ගන්න බැරිවුනොත් මොකද කරන්නේ කියන සංවාදය තමයි ඒවා අතරින් ප්‍රධාන වුනේ. එතනදී හරිනි හිටියේ දෙමල ජාතික සන්ධානයත් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න ඕනි කියන මතයේ.හැබැයි ජවිපෙ හිටියේ ඊට විරුද්ධ මතයක. ඔයාලාට මතක ඇති බිමල් යාපනේ ගිහින් ඩග්ලස් දේවානන්දවයි, දෙමල සන්ධානයවයි දැඩි විදිහට විවේචනය කළා.

ඊට පස්සේ තමයි ගජ මිතුරන් විදිහට හිටපු අනුර සහ සුමන්තිරන් එකිනෙකා විවේචනය කරගන්න පටන් ගත්තේ. මාලිමාවේ ඒ වගේ උත්සාහයන් ජවිපෙ බලය යොදා මේ දක්වා පරාජය කරලා තියනවා. ඒ දවස්වලම ජවිපෙ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් සජබ කොළඹ දිස්ත්‍රික් ප්‍රබලයෙක් අතරත් හමුවීමක් සිද්ධවුනා. අන්තිමට ජවිපෙට පාර්ලිමේන්තු ආසන 159 හිමිවීම ඇතුලේ ඒ ප්‍රශ්නය විසදුනා. මාලිමා ආණ්ඩුව දිහා විමසිලිමත්ව බලද්දී හරිනි ඇතුළු කණ්ඩායම ඉන්දියානු සහ දැඩි බටහිර හිතවත්භාවයක් පෙන්නනවා.

ඒ වගේම ජවිපෙ සාම්ප්‍රදායිකව චීනය පැත්තට වැඩි නැඹුරුවක් පෙන්වනවා. මාලිමා ආණ්ඩුවේ තියන මාලිමා සහ ජවිපෙ කඳවුරු දෙකම අභයන්තරික මෙහෙයවීමක් සභිත කඳවුරු දෙකක්. 2012 වර්ෂය විතර වෙනකම්ම හරිනි ඇතුළු බලවේග නියෝජනය කරන්නේ ජවිපෙ විරෝධී කඳවුර. ඒ කඳවුර නියෝජනය කළේ හරිනිලා, සුනන්ද දේශප්‍රියලා, දයාන් ජයතිලකලා, පුල්සරා ලියනගේලා වගේ අය. ඒ දයාන් ජයතිලක දැන් අනුරව වර්ණනා කරන්නත් පටන් අරන්.

මේ සියලු දෙනා ඒ කාලේ හිටියේ ජවිපෙට විරෝධී ස්ථාවරයක. ජවිපෙට එරෙහිව ලොකු වැඩ කොටසක් කරපු දේවසරණ ආයතනය තමයි මෙයාලගේ මූලස්ථානය වුනේ. ඒ වෙනකොට ජවිපෙ විරෝධී ස්ථාවරයක හිටපු 71 ජනතා සංගමයක් එතන හිටියා. 88/89 දී ජවිපෙට ලොකු විනාශයක් කරපු ප්‍රා එක පවා දේව සරණත් එක්ක සෘජු සම්බන්ධ වෙලා හිටියා. ඒ ජාලයත් එක්ක තමයි හරිනිලා දේශපාලනිකව වැඩුනේ. ඒක දැවැන්ත NGO ජාලයක්. එයාලා තමයි ජවිපෙත් එක්ක එකතුවෙලා මාලිමාව නිර්මාණය කරන්නේ.

හරිනි ඉතා කෙටි කාලයක් ඇතුලේ කොච්චර දුරක් ආවද කියනවා නම් අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකර හරිනි මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සාකච්ඡාව ජවිපෙ ඇතුලේ තිබුණා. ලාල් කාන්ත පවා ඒ ස්ථාවරයේ හිටියා. අද මාලිමා ආණ්ඩුවේ අගමැති හරිනි, හරිනි මාලිමාව ඇතුලේ නෙවෙයි ජවිපෙ ඇතුලටත් ලොකු බලපෑමක් කරලා තියනවා. පහුගිය දවසක තිබුණ ABBA සංගීත ප්‍රසංගයට ටිල්වින් එක්කගෙන යන්න මාදිහත් වෙලා තියෙන්නේ හරිනි කියලයි කියන්නේ.

ටිල්වින්ව වෙනස් කරලා හොඳට අන්දගෙන, සෙන්ට්, පවුඩර් දාලා එක්ක ගියේ හරිනි කියලා තමයි ජවිපෙ අභයන්තර ආරංචි මාර්ගවලින් කියන්නේ. ඒ කියන්නේ හරිනි ජවිපෙ අයගේ සිතුම් පැතුම්, අවශ්‍යතා සන්තර්පණය කරන්න ඉලක්ක සහගතව මැදිහත් වෙනවා. විශේෂයෙන්ම ටිල්වින්ගේ. ඒ කියන්නේ ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ සහ මධ්‍ය කාරකය සභාවේ කීප දෙනෙකුම හරිනිට අවනතයි.

මාලිමා ඇතුලේ තියන මේ ස්වභාවය දේශපාලන අර්බුදයකදී කොහොම හැසිරෙයිද? ජාත්‍යන්තර බලවේග ඒවා කොහොම හසුරවයිද? එතනදී අනුරට වෙන්නේ මොකක් ද? ප්‍රශ්න ගොඩයි. රටේ රාළ හිතන්නේ ඒ සම්බන්ධව සාකච්ඡාවක් ගොඩනගන්න දැන් කාලය හරී. දැනට ඔය ප්‍රශ්න ටික ඔළුවේ තියාගන්න. ඉතිරි ටික වෙන දවසක කථා කරමු.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
අවකාශය නවතම