වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න – කෝප් කමිටුව දන්වයි

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබේ.

පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා රේගුව හා සම්බන්ධවෙමින් මහා පරිමාණ තොග ව්‍යාපාර වැටලීම් සිදුකිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමුවූ අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇත්තේ වත්මන් පනත අනුව වැටලීම් කිරීම සඳහා බලය ඇත්තේ සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් පමණක් බවත් තොග හෝ නිෂ්පාදකයාගේ ගබඩා පරීක්ෂා කර නෛතික පියවර ගැනීමට බලයක් නැති බවත්ය.

මේ අනුව අදාළ අංශ අනාවරණය වන ලෙස පනත සංශෝධනය කිරීම සිදුවන බවත් මේ වන විට එය අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේ 2004 වසරේ ආරම්භ කළ පනත සංශෝධනය කිරීම වසර 19ක් පමා වී ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් නිමා කරන ලෙසය.

Social Sharing
නවතම පුවත්