ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා

ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට කළ මෙහෙවර ඇගැයීමකි. ඔහු පුරෝගාමී වූ ශ්‍රමදාන (ශ්‍රම පරිත්‍යාගය), ග්‍රෝමෝදය (ගම පිබිදීම) සහ සර්වෝදය (සියලුදෙනාගේම යහපැවැත්ම) වැනි සංකල්ප අද ශ්‍රී ලංකාවේ සිවිල් සහ දේශපාලන ජීවිතයේ ප්‍රධාන ධාරාවේ කොටස් වේ. සාම්ප්‍රදායික පිළිවෙත් සහ විශ්වාස පද්ධති ඔස්සේ ඉදිරියට ගිය ඔහුගේ නිර්මාණාත්මක භාවිතය නිසා සර්වෝදය ව්‍යාපාරය රටේ සංවර්ධන ක්‍රියාවලියේ ඓන්ද්‍රීය කොටසක් බවට පත්කිරීමට හැකිවිය. ශ්‍රමදාන වැනි සාම්ප්‍රදායික ප්‍රජාව කේන්ද්‍ර කරගත් භාවිතයන් පමණක් නොව, බහුත්වවාදය සහ සමානාත්මතාවය වැනි ලිබරල් සාරධර්ම රටෙහි හතර කොණ දක්වා ව්‍යාප්ත කිරීමට සිවිල් සමාජය තුළට ඒවා ඇතුළු කිරීම ආචාර්ය ආරියරත්නයන් ලබාදුන් විශිෂ්ට දායකත්වයයි.

ආචාර්ය ආරියරත්න සිංහල-බෞද්ධ සංස්කෘතියට ඔහුගේ සිතුවිල්ල සහ කාර්යය අනුගත කෙරුණු, කොළඹ ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස, ආගමික, වාර්ගික, කුල සහ පන්ති භේදවලින් පීඩිත වූ සමාජයක අනෙකුත් ප්‍රජාවන් වෙත ළඟා වූ බෙදාගැනීමේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ වටිනාකම් සමඟින් පිරුණු පුද්ගලයෙක් විය. ඔහුගේ නායකත්වයෙන් යුත් සර්වෝදය ව්‍යාපාරය, තම සමාජය නඟා සිටුවීමට දායකවීමට කැමති තරුණ තරුණියන්ට ආකර්ශනීය ස්ථානයක් බවට පත්විය.

අද සිවිල් සමාජ සංවිධානවල නායකයන් බොහෝදෙනකුට ඔවුන්ගේ ආරම්භක කාලයේදී ආචාර්ය ආරියරත්න ‘ලොකු සර්’ විය. මම ඔහු සමඟ වැඩ කළ සහ ඔහුගේ චින්තනයේ බලපෑමට ලක් වූ අයගෙන් කෙනෙකි. ඔහු විශ්වාස කළ සංකල්ප තුනක විශේෂ වැදගත්කමක් ඇත. පළමුව, සංවර්ධනය සිදුවිය යුත්තේ සියල්ලන්ගේම යහපැවැත්ම සඳහා මිස බහුතරයකගේ හෝ සුළුතරයකගේ යහපැවැත්ම සඳහා නොවේ යන්නයි. දෙවනුව, සංවර්ධනය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ, සංස්කෘතික, සදාචාරාත්මක, ආධ්‍යාත්මික හා දේශපාලන සංවර්ධනය ද වේ, යන්නයි. තෙවනුව, ග්‍රාමීය ප්‍රජාවට හැකි අවම මට්ටමට බලය සහ සම්පත් විමධ්‍යගත කිරීම මගින් පහළ සිට සංවර්ධනය සහතික කිරීම යන්නයි.

ආචාර්ය ආරියරත්න යනු, රාජ්‍ය බලය හෝ දේශපාලන බලය හසුරුවා නොගෙන, අදහස්වලින් ලැබෙන බලය සහ රාජ්‍යයට සාර්ව මට්ටමින් එය ප්‍රතිනිර්මාණය කළ හැකිවන පරිදි ක්ෂුද්‍ර මට්ටමින් කළහැකි දේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව සහිත වූ පංචශීල සිවිල් සමාජ නායකයා විය. අද වන විට සර්වෝදය ව්‍යාපාරය, සංවර්ධනය ඉලක්ක කරගත් ක්‍රියාකාරකමක හෝ අවම වශයෙන් එහි එක් පුහුණුවක් හෝ නොලද ප්‍රජා සේවකයකුගේ ස්වරූපයෙන්, ස්පර්ශ නොකළ තැනක් නොමැති වැඩසටහනක් බවට පත්ව ඇත. පසුගිය වසර 65 තුළ ශ්‍රී ලංකාවේ පැවැති බොහෝ පාලනයන්ගෙන් එකක් හෝ මෙම දූරදර්ශී නායකයාට තම ජාතික සංවර්ධන වැඩසටහන භාර දුන්නේ නම්, අද පවතින බලාපොරොත්තු සුන්වීම සහ ආර්ථික කඩාවැටීම වෙනුවට, සිදුකළ හැකිව තිබූ ගැඹුරු වෙනස අපට සිතාගත හැකිය.

ඔහු වරක් මට ජීවිතයේ තිබිය යුතු ප්‍රමුඛතා ආලෝකවත් කිරීමට කතාවක් කීවේය. එය ශ්‍රේෂ්ඨ රුසියානු නවකතාකරු ටෝල්ස්ටෝයිගෙන් උපුටා ගන්නා ලද්දකි. කතාන්දරය වූයේ ප්‍රශ්න තුනකට පිළිතුරක් අවශ්‍ය රජෙකු ගැන ය. එහිදී, පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම කාලය කුමක්ද? වැදගත්ම පුද්ගලයා කවුද? සහ, කළ යුතු වැදගත්ම දේ කුමක්ද? යනුවෙන් ප්‍රශ්න කෙරේ. එහිදී, ප්‍රශ්න කළ ප්‍රඥාවන්ත (සහ එතරම් ප්‍රඥාවන්ත නොවන) පුද්ගලයෝ බොහෝ හා විවිධ පිළිතුරු එම ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ලබාදුන්හ. සමහරු මේ ප්‍රශ්න තුනට පිළිතුරු ලෙස උපන් වේලාව (ජ්‍යොතිෂය), පියා, මව හෝ හොඳින් ඉපැයීම හෝ බව කීහ. ආචාර්ය ආරියරත්නගේ දැක්මට අනුව, ටෝල්ස්ටෝයිගේ පිළිතුර වූයේ, වැදගත්ම කාලය දැන්, වැදගත්ම පුද්ගලයා ඔබ දැන් සිටින පුද්ගලයා වන අතර, කළයුතු වැදගත්ම දෙය වන්නේ ඔහුට ආදරය කිරීම සහ සේවය කිරීමයි. ආචාර්ය ආරියරත්න තමන් සමඟ සිටි (මාද ඇතුළුව) පිරිස් සමඟ නොබෙදුණු අවධානයකින් කටයුතු කර, ඔවුන්ගේ අවධානය ලබාගනිමින්, ඔවුන්ගේ දෑත් අල්ලාගෙන, ඉහත කතාව තුළ ජීවත් විය.

Social Sharing
නවතම විශේෂාංග