අප්‍රේල් කැරැල්ලට වසර 53යි – කිසිදා නොඇසූ කරුණු ඇතුළත් ග්‍රන්ථයක්.

1971 අප්‍රේල් 5 තරුණ කැරැල්ලට වසර 53ක් පිරෙද්දී මෙතෙක් ඒ පිළිබඳ වාර්තා නොවුණු ඇතුළත් නවතම ග්‍රන්ථයක් ළඟදීම නිකුත් වන බව ජනමාධ්‍යවේදී හා පර්යේෂක ධර්මන් වික්‍රමරත්න මහතා පවසයි.

අප්‍රේල් කැරැල්ල පිළිබඳව මෙතෙක් පළ වූ ග්‍රන්ථ සංඛ්‍යාව පනහකට ආසන්නය. ධර්මන් වික්‍රමරත්න මහතා 2010 සිට 2019 දක්වා වසර කිහිපය තුළ දිස්ත්‍රික් 17ක සංචාරය කර, 1971 කැරලිකරුවන් 150කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් හමු වී එක්රැස් කරන ලද තොරතුරු ඇතුළත් පිටු 750ක පමණ ග්‍රන්ථයක් දැන් සකස්වෙමින් පවතී.

වසර පහකට පෙර ඔහු සමග සාකච්ඡාවලට එක් වූ ඇතැම් කැරැලිකරුවන් වර්තමානයේදී ජීවතුන් අතර නැති බව කර්තෘවරයා පවසයි. එහෙත් ඔවුනගේ හඬපට සහ ඡායාරූප ධර්මන් වික්‍රමරත්න මහතා සතුය. කිහිපදෙනෙකුම අප්‍රේල් කැරැල්ල පිළිබඳ අදහස් දක්වා ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ඡායාරූප ගනු ලැබුවේ ද ධර්මන් වික්‍රමරත්න මහතා විසිනි.

ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරමින් ධර්මන් වික්‍රමරත්න මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනෙහි කොටසක් පහත දැක්වේ:

ලාංකීය දේශපාලනයේ ගමන්මඟ වෙනස් කළ පළමු වෙඩි මුරය වූයේ 1971 අප්‍රේල් කැරැල්ලය. එය මෙහෙය වූයේ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණය (ජවිපෙ). රටපුරා පොලිස් ස්ථාන 92කට ජවිපෙ විසින් අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ රාජ්‍ය බලය ලබාගැනීම අරමුණ ඇතිව පහර දුන්හ. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මඟින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහය ද මෙය විය. අප්‍රේල් කැරැල්ලේදී කැරලිකරුවන් විසින් පහර දුන් පොලිස් ස්ථාන 92ක අතරින් 57ක් විනාශ කළ අතර දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන පහක් යටත්කර ගත්තේය. තවත් පොලිස් ස්ථාන 43ක් තාවකාලිකව ඉවත් කරගෙන තිබිණි.

අප්‍රේල් කැරැල්ලේදී පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. කැරලිකරුවන් විසින් මරා දමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි. සමගි පෙරමුණ රජය මඟින් ප්‍රකාශ කළ නිල දත්ත අනුව මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 1,200කි. එහෙත් මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000ක් පමණ වූ අතර ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ බාර වූ අය වේ. කැලණිය සහ ජයවර්ධනපුර සරසවි තාවකාලික සිර කඳවුරු බවට පත්විය. අප්‍රේල් කැරැල්ලෙන් පසු පරික්ෂණ කොමිෂන් සභා හතරක් මඟින් 1972 අගෝස්තු 10 සිට 1976 නොවැම්බර් 4 දක්වා කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරික්ෂණ 140ක් පවත්වන ලදී. එයට චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. ඉන් 3,014 කොමිෂන් සභා හමුවට ගෙන ආ අතර 894 දෙනෙකු අත්අඩංගුවට ගත නොහැකි විය. අත්හිටවූ සිර දඬුවම් මත නිදහස් කළ සංඛ්‍යාව 2,492කි. බරපතළ සිරදඬුවම් ලැබූ කැරලිකරුවන් ගණන 390කි.

ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුළු පස්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. නිදොස් කොට යැවූ කැරලිකරුවන් ගණන 104කි. මහ නඩුවේදී 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි. අප්‍රේල් මහ නඩුවේ තීන්දුව 1974 දෙසැම්බර් 20 වැනිදා ලබාදුන් අතර විත්තිකරුවන් 41 දෙනාගෙන් සිව්දෙනෙක් නිදහස්වූ අතර සුසිල් සිරිවර්ධන, එස්.ඩී බණ්ඩාරනායක සහ ටී.ඩී. සිල්වාට අත්හිටවු සිරදඬුවම් නියම විය. 28 දෙනෙකුට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම්  නියම විය.

@ By Dharman Wickremaretne

Social Sharing
නවතම පුවත් විශේෂාංග