ලංගමෙන් මිලියන 1098ක ලාභයක් නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට…

ලංගමය පසුගිය වසරේ රුපියල් මිලියන 1098ක ලාභයක් වාර්තා කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නවක රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් පිරිනැමීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී නවක පත්වීම්ලාභින් අමතා අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

එහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද සඳහන් කළේය.

රාජ්‍ය ආයතනයක් වූ ලංකා ගමනාගමන මණ්ඩලය වැසී යාමේ තර්ජනයකට පසුගිය කාලයේ මුහුණ දී තිබුණා. එය පෞද්ගලීකරණය කළ යුතුයි යන මතයක් පවතින අවස්ථාවක අප විසින් සිදු කරන වෙනස්කම් තුළින් 2025 වසර වන විට ලංගම ලාභ ලබන තත්ත්වයකට පත් කරන බවට අප ජනාධිපතිතුමා ඇතුළු රජයට පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව 2023 වසර අවසන් වන විට ගිණුම් වාර්තාවලට අනුව ලංගම රුපියල් මිලියන 1098ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ලාභයම පමණක් පරමාර්ථය කර නොගනිමින් ඉතා දුෂ්කර මාර්ගවල පවා ලංගම බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය සිදුකරන්නේ කිසිවෙකුටත් නොපෙනෙන නිහඬ සේවාවක්. රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක සේවාවක් ලංකා ගමනාගමන මණ්ඩලය තුළින් සැලසෙනවා. වාර ප්‍රවේශපත්‍ර සහන මිලට ලබා දීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි දෙදහසක් රජය ලංගම හරහා සහනාධාරයක් ලෙස ලබා දෙනවා.

එම නිසා ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතරින් 90%ක්‌ පමණ ඉතා විශිෂ්ට ජාතික වශයෙන් ඇගයිය යුතු සේවාවක නිරත වෙනවා. ඉතා සුළුතර පිරිසක් විවිධ වංචාවන්වලට පෙලඹෙනවා. එම තත්ත්වය ද මැඬපැවැත්වීම සඳහා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, පත්වීම්ලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Social Sharing
නවතම විශේෂාංග