පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි!

pahiyangala ananda sagara

කරු ජයසූරිය මහතා  සම්බන්ධ කරමින් පාහියන්ගල ආනන්දසාගර හිමියන් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා  වන භික්ෂු සංසදය වෙනුවෙන් එහි කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අප්‍රසාදය පළකර ඇත.

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි

ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි.

එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද කරුණු අප කිසිවිටක අනුමත නොකරන බව සලකන්න. කරු ජයසූරිය මැතිතුමා බෞද්ධ  සාශනයට මහත් වූ සේවයක් කරමින් සිටින මහා සංඝරත්නයේ ප්‍රසාදය දිනාගත් වැදගත් මහත්මයෙකු බව අප අමුතුවෙන් සිහිපත් කරදිය යුතු නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ රටේ හිටපු රාජ්‍ය නායිකාවකි. පාඨලී චම්පික රණවක මැතිතුමා බුද්ධ සමාජය නියෝජනය කරන ප්‍රමුඛ දේශපාලන නායකයෙකි. ඒ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඔබ කර ඇති ප්‍රකාශ මගින් වඩාත්ම අපහසුතාවයට පත්වන්නේ මේ රටේ මහා සංඝරත්නය බව සිහියට ගැනීම වැදගත්ය.

සැලකිල්ලට ගත යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ මේ රටේ වැඩිහිටි පරපුර ගැන ඔබවහන්සේ දරා ඇති ආකල්පයයි. එම පිරිස අදාළ කරගනිමින් ඔබ සඳහන් කර ඇති වචන කෙතරම් යෝග්‍යදැයි දැන්වත් කල්පනා කරන්නේ නම් මැනවි. ඒ මගින් අපහාස කර ඇත්තේ සමස්ථ වැඩිහිටි පරපුරටය. අපගේ හා ඔබගේ වැඩිහිටි දෙමාපියන්ද ඇතුළු ගුරු හිමිවරුන් ගැන හෝ කල්පනාවට නොගැනීම බලවත් වැරද්දකි.

ඉහත කරුණු ගැන වැඩිදුරටත් කිසිවක් නොකියමු. ඒ ගැන කල්පනා කිරීම මගින් අප තුළ ඇතිකරන්නේ වේදනාවකි. මෙය අප විසින් සිදුකරන බරපතල  අවවාදයක් ලෙස සලකා ඉදිරියේදී සිහි නුවණින් කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරන්නෙමු.

 

මෙයට,

මුගුණුවටවන සිද්ධත්ත ස්ථවිර

කැඳවුම්කරු,

සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය.

2024.02.22

Social Sharing
අවකාශය නවතම