මිලේච්ඡ ආකාරයට හැසිරෙන්න පොලිසීයට බලය දුන්නේ කවුද? අමාත්‍ය චමල් විමසයි.

අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිලිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් බිහිකිරීම ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වේ. නමුත් ඒ සාමකාමීත්වය වෙනුවට ප්‍රචණ්ඩත්වය පෙරටුකොට මහජනතාවට හිංසා, පීඩා කරන පොලිස් නිලධාරීන් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටිති. ඔවුන්ගේ අමානුෂික වධහිංසා වලට ලක් වූ සිවිල් වැසියන්ද, පොලිසීය තුලම සිටින පොලිස් නිලධාරීන් පිලිබඳවද අපට වාර්තා වන්නේ එබැවිනි.

මේ අතර අහිංසක නිරායුධ මිනිසුන්ට අතපය කැඩෙන ලෙස මිලේච්ඡ ආකාරයට පහර දීමට පොලිසීයට බලය දුන්නේ කවුදැයි වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර කටයුතු හා ආපදා රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් 14 දා තිස්සමහාරාමයේදී ප්‍රකාශ කර තිබුණි. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම විශාල අගෞරවයක් මෙන්ම කැළලක් බවද ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා එම පොලිස් නිලධාරීන්ව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය ගැන පවසා තිබුණේ පහුගිය දිනෙක කිරින්ද වැඩ බලන ස්ථානාධිපතිවරයා විසින් වැලි ප්‍රවාහනය කරන පුද්ගලයෙකුට හා ඔහුගේ පුතෙකුට සිදු කළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

තිස්සමහාරාම, හල්මිල්ල පදිංචි ජිනිත් ද සිල්වා මුතුමාල (53) නැමැති වැලි ප්‍රවාහනය කරන පුද්ගලයෙකුගේ ටිපර් රථය ඉකුත් අගෝස්තු 30 දා තවත් ටිපර් රථයක් හා ගැටී අනතුරට පත්ව ඇත.

එහිදී දෙපාර්ශවය විසින් කථා කොට සාමකාමීව මෙය විසඳා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ කිරින්ද පොලිසීයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වාහන දෙක පොලිසියට ගෙන ගොස් අනෙක් වාහනය මුදා හැර ජිනිත්ගේ වාහනය රඳවාගෙන හම්බන්තොට මොටර් රථ පරික්ෂකවරයා ලවා පරික්ෂාවට ලක් කර ඇත. එහිදි එම ටිපර් රථයේ කිසිදු වරදක් නොමැති බවත් මුදා හැරුනු අනෙක් රථයේ චැසි අංකයවත් නොමැති බව අනාවරණය වු බවද ජිනිත් පවසයි.

මේ අතර ජිනිත් නිවසට ගොස් සිටි අවස්ථාවේ ලැබුණු පණිවිඩයකින් කියවි ඇත්තේ පොලිසියේ ඇති ඔහුගේ ටිපර් රථය පොලිසියට පැමිණි බාස් කෙනෙකු විසින් යම් යම් වෙනස්කම් වලට ලක් කරමින් සිටින බවය. ඔහු වහාම පොලිසියට ගොස් මේ පිලිබඳ ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදි ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුගේ අනුදැනුම මත මෙය සිදුකරන බවටය. එමෙන්ම වෙලාවක් ලබා දී මේ ගැන කථා කිරීමට පොලිසියට පැමිණෙන ලෙස ද ස්ථානාධිපතිවරයා දන්වා ඇත.

ඒ අනුව ජිනිත් ඔහුගේ පුතාද කැටුව එම වේලාවට පොලිසියට ගොස් ඇති අතර එහිදී වැඩබලන ස්ථානාධිපතිවරයා ඔවුන්ව කාමරයකට රැගෙන ගොස් ඔවුන් සතුව පිහි ඇත්දැයි පරික්ෂාවට ලක් කර ඇත. එසේ පරික්ෂා කරමින් වැඩබලන ස්ථානාධිපතිවරයා ජිනිත්ට සහ පුතාට අසභ්‍ය වචනයෙන් බැන වදිමින්, තර්ජනය කරමින් ඇඳුම් ගලවා බරපතල ලෙස පහර දුන් බව ජිනිත් අමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇත. මේ වන විට ජිනිත්ගේ වම් අතේ ඇට කැඩී ඇති අතර කන තුවාල වී ඇත. ඔහු පවසන්නේ මුලු ශරිරයම තැලී පොඩි වූ බවත් පසුව සුව සැරිය ගිලන් රථයෙන් දෙබරවැව රෝහලට රැගෙන ගිය බවත්ය. පසුව ඉන් හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇති අතර එහිදි පොලිසියේ දැඩි ඉල්ලීම මත කියමින් ඔහුව සැප්තැම්බර් 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද ජිනිත් පැමිණිලි කරමින් කියා තිබේ.

ඒ අනුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වහාම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාල බලධාරින්ට දැනුම් දී ඇත. එමෙන්ම කිරින්ද වැඩ බලන ස්ථානාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කරමින් ජිනිත්ගේ නිර්දෝෂිභාවය පිලිබඳවද තිස්සමහාරාමයේ, යටාල පැවති ජනතා ගැටලු විසඳිමේ ජංගම සේවයේදී කරුණු හෙළි කර සිටි බව අද (16) මව්බිම පුවත්පත විසින් වාර්තා කර තිබුණි.

Social Sharing
නවතම