මරණීය දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වන රටවල් මොනවාද?

ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතින නමුත් බොහෝ රටවල් එය තහනම් කර ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එක්සත් ජනපදයේ පුද්ගලයෙකු නයිට්‍රජන් වායුව යොදා ගනිමින් මරණීය දණ්ඩනයට ලක් වූ ලොව ප්‍රථම පුද්ගලයා බවට පසුගිය ජනවාරි මාසයේදී පත්විය.

පුද්ගලයන් 36 දෙනෙකුට මරු කැඳවූ ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජපන් ජාතිකයෙකු ද එල්ලා මැරීමට ද නියම කර තිබේ.

බොහෝ රටවල් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අහෝසි කර තිබියදීත්, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතියි.

කොපමණ රටවල් ගණනක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා ද?

2022 වසරේදී රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) විසින් සම්පාදනය කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව:

  • රටවල් 55ක මරණීය දණ්ඩනය පැවතිණි
  • මෙම රටවල් අතරින් රටවල් නවයක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබුණේ, බහුපුද්ගල ඝාතන හෝ යුද්ධ අපරාධ වැනි බරපතළ ම අපරාධ සඳහා පමණි.
  • රටවල් 23ක මරණීය දණ්ඩනය පැවතුණු නමුත් වසර 10ක් තිස්සේ එය භාවිත කර නොතිබිණි.

වසරකට කී දෙනෙකු මරණීය දණ්ඩනයට ලක් වනවා ද?

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දත්ත නිල සංඛ්‍යා, මාධ්‍ය වාර්තා සහ මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් හා නියෝජිතයන්ගෙන් ලැබුණු තොරතුරුවල එකතුවකි.

චීනය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු හෙළි නොකරයි.

චීනය හැර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් 2022 වසරේදී ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ අවස්ථා 883ක් සටහන් කරනු ලැබ ඇත.

මෙය 2021 වසරේදී මරණ දණ්ඩනයට ලක් වූ පුද්ගලයන් 579ට වඩා 53%ක වැඩි වීමක් වන අතර එය 2017 වසරේ සිට වාර්තා වූ මරණීය දණ්ඩනය භාවිත කළ වැඩි ම අවස්ථා ගණන වේ.

කෙසේ වෙතත්, එය 1988, 1989 හෝ 2015 වසරවල සංඛ්‍යාලේඛනවලට වඩා බෙහෙවින් අඩු ය. එම කාලයේ එක් වසරක් තුළ පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් මරණීය දණ්ඩනයට ලක් කෙරිණි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ, 2022 වසරේදී රටවල් 52ක් පුරා අවම වශයෙන් මරණ දණ්ඩනය අවස්ථා 2,016කදී පනවා ඇති බව ය.

2021 වසරේදී රටවල් 56ක් අවම වශයෙන් මරණ දණ්ඩනය අවස්ථා 2,052කදී පනවා ඇත.

සිරකරුවන් බොහෝ දෙනෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වනතුරු වසර ගණනාවක් හෝ දශක ගණනාවක් සිරගතව සිටිති.

මරණීය දණ්ඩනය වැඩි වශයෙන් භාවිත කරන රටවල් මොනවා ද?

2021 වසරේදී වාර්තා වුණු රටවල් 18ට සාපේක්ෂව 2022 වසරේදී රටවල් 20ක් මිනිසුන්ට මරණීය දණ්ඩනය ලබා දී ඇත.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විශ්වාස කරන්නේ, චීනය අනෙක් රටවටල වඩා මරණ දඬුවම භාවිත කරන බව ය. වසරකට මිනිසුන් දහස් ගණනකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන බවට ඔවුන් උපකල්පනය කළ ද එය තහවුරු කළ නොහැක.

චීනය හැරුණු විට වැඩි ම පිරිසක් මරණ දඬුවමට ලක් කළ රටවල් වන්නේ ඉරානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් ජනපදය යි.

විවිධ රටවල ක්‍රියාත්මක කරන ලද මරණ දණ්ඩනය වෙනස් වී ඇත්තේ කෙසේ ද?

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් සෑම වසරක ම මිනිසුන්ට මරණීය දණ්ඩනය ලබා දෙන ලෝකයේ රටවල් 11ක් ඉස්මතු කර පෙන්වනු ලබයි.

චීනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, සෞදි අරාබිය, එක්සත් ජනපදය, වියට්නාමය සහ යේමනය ඊට ඇතුළත් ය.

උතුරු කොරියාව ද “අඛණ්ඩව මරණීය දණ්ඩනය භාවිත කිරීමට ඉඩ ඇති” බව ඔවුන් විශ්වාස කරන, නමුත් මෙය ස්වාධීනව තහවුරු කළ නොහැක.

ගතවුණු වසර 30 තුළ සෞදි අරාබියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සංඛ්‍යාව ඉහළ ම අගයක් ගත්තේ 2022 වසරේදී ය.

රටවල් පහක් එනම් බහරේනය, කොමරෝස්, ලාඕසය, නයිජර් සහ දකුණු කොරියාව 2022 වසරේදී පුද්ගලයින්ට මරණීය දණ්ඩනය නියම කළ නමුත් වසර ගණනාවක් පුරා එය භාවිත නැත.

කෙසේ වෙතත්, 1999 වසරේ සිට උපරිම අගයක පැවති එක්සත් ජනපදයේ මරණීය දණ්ඩය ක්‍රියාත්මක කිරීම පහත වැටී ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්වන පුද්ගලයින් ගණන කොපමණ ද?

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ, 2022 වසරේදී ලොව පුරා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය අවස්ථා 325කදී සිදු කර ඇති බව ය. ඉන්:

  • ඉරානයේ 225ක්
  • සෞදි අරාබියේ 57ක්
  • සිංගප්පූරුවේ 11ක්

2023 වසරේදී සිංගප්පූරුව වසර 20කට ආසන්න කාලයකට පසුව එරට පළමු වරට කාන්තාවක මරණීය දණ්ඩනයට ලක් කළේ ය. සරිදේවි ජමන් නමැති ඇය 2018 වසරේදී හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකාරිය විය.

කොපමණ රටවල් ගණනක් මරණීය දණ්ඩනය අහෝසි කර තිබේ ද?

1991 වසරේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවූ රටවල් 48 සමග සසඳන විට එය මේ වන විට රටවල් 112ක කිසිසේත් ම භාවිත නොවේ.

2022 වසරේදී රටවල් හයක් විසින් මරණීය දණ්ඩනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අහෝසි කරන ලදී.

රටවල් හතරක් එනම්, කසක්ස්තාන්, පැපුවා නිව් ගිනියා, සියෙරා ලියෝන් සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය එය සම්පූර්ණයෙන් ඉවත් කළේ ය.

ඉක්වටෝරියල් ගිනියාව සහ සැම්බියාව පැවසුවේ, ඔවුන් එය වඩා ත් බරපතළ අපරාධ සඳහා පමණක් භාවිත කරන බව ය.

2023 අප්‍රේල් මාසයේදී මැලේසියාවේ පාර්ලිමේන්තුව මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතළ අපරාධ 11ක් සඳහා අනිවාර්ය කර තිබුණු මරණීය දණ්ඩනය ඉවත් කිරීමට තීරණය කළේ ය.

ඝානා පාර්ලිමේන්තුව 2023 ජූලි මාසයේදී මරණීය දණ්ඩනය සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමට ඡන්දය ප්‍රකාශ කළේ ය.

ලොව පුරා රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?

A woman protests against the death penalty

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

මරණීය දණ්ඩනය ලබා දීමේ ක්‍රමයක් ලෙස හිස ගසා දැමීම ලැයිස්තුගත කළ එක ම රට සෞදි අරාබිය යි. ඒ, 2022 වසරේදී ය.

අනෙකුත් ක්‍රම අතර එල්ලා මැරීම, මාරාන්තික එන්නතක් ලබා දීම සහ වෙඩි තබා මරණයට පත් කිරීම ඇතුළත් විය.

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තය නයිට්‍රජන් වායුව යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ කෙනත් ස්මිත්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

මෙම ක්‍රමය භාවිත කරමින් මරණීය දණ්ඩනයට ලක් වූ පළමු පුද්ගලයා ඔහු වනු ඇත. ස්මිත්ගේ නීතීඥයින් විසින් ‘පරීක්ෂාවට ලක් නොකළ’ මෙම ක්‍රමය හඳුන්වනු ලැබුවේ, “කුරිරු හා අසාමාන්‍ය” දඬුවමක් ලෙස ය.

ඇලබාමා සහ තවත් එක්සත් ජනපද ප්‍රාන්ත දෙකක් නයිට්‍රජන් භාවිතය අනුමත කළේ, මාරාන්තික එන්නත් සඳහා බහුලව භාවිත වන ඖෂධ සොයා ගැනීම දුෂ්කර වී ඇති බැවිනි.

එම ඖෂධ හිඟය එක්සත් ජනපදය පුරා මරණීය දණ්ඩනය භාවිතය පහත වැටීමට හේතු වී ඇත.

උපුටා ගැනීම –  BBC සිංහල

Social Sharing
නවතම පුවත් විශේෂාංග