නව දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක වේ – හෝටලයක මානව සම්පත් කළමනාකරු රිමාන්ඩ්

මීට ඉහත දී BBC සිංහල වෙබ් අඩවියට සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියේ දූෂණ විරෝධී පනතෙන් ඇතම් නීති වැඩි දියුණු කර ඇති බවය. ලිංගික අල්ලස් ගැනීම, පෞද්ගලික ආයතන තුල සිදුවන අල්ලස්, නව පනත යටතේ විශේෂයෙන්ම සඳහන් කර ඇති අතර ලිංගික අනුග්‍රහය වරදක් ලෙස හඳුනාගෙන තිබීම ඉතා යහපත් වෙනසක් බවත් ලංකාවේ අල්ලස් නීතියේ පෞද්ගලික අංශයේ අල්ලස වරදක් ලෙස මෙතරම් කාලයක් ඇතුලත්ව නොතිබී දැන් ඇතුළත් වී තිබීම යහපත් බවත් එතුමිය එම සම්මුඛ සාකච්ඡාව තුළ මතු කර තිබූ වැදගත් කරුණු කිහිපයකි.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සම්මත වී කෙටි කලක් ගතවූ පසු එම පනතේ 47 (5) වගන්තියට ප්‍රකාරව පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (6) දින දීය. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නිතී) සම්බන්ධප්පෙරුම මහත්මිය පවසා සිටියේ මෙම පනත යටතේ එසේ අධිකරණය හමුවේ ගොනු කළ පළමු නඩුව මෙය බවයි.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ගිණුම් ලිපිකාරිනියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන එම හෝටලයේ මානව සම්පත් කළමණාකාරවරයකු වන බී. ඩී. එම්. දිසානායක නමැති 59 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (06) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක කාන්තාවකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ ඉකුත් 2023 වසරේ අගෝස්තු මාසයේ දී සම්මත කරගත් මෙම දූෂණ විරෝධී පනතේ 162 වගන්තිය ප්‍රකාරව ලිංගික අනුග්‍රහය යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම පනතේ 47(5) වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලාල් කුලරත්න මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව අල්ලස් කොමිසම නව පනතක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ පළමු නඩුව මෙය වුවත් නඩු ගොනුවේ පනතේ අදාළ වගන්ති කිසිවක් ඉදිරිපත් කර නොතිබීම දෝෂ සහගත බවය.

පැමිණිලිකාරියට එම හෝටලයෙන් ගෙවන වැටුපෙන් සියයට හැත්තෑපහක් පමණ ගෙවන අතර, ඉදිරි සියයට විසිපහ නොගෙවන බවත් එය සම්පූර්ණයෙන් ලබාදීමටත් ඉදිරියේදී පරිපාලන නිලධාරීන්ට දැනුම් දී සේවය ස්ථිර කිරීමටත් සැකකරු මෙම ලිංගික අල්ලස ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

දිගින් දිගටම සැකකරු සිදුකරන මෙම පීඩාව හේතුවෙන් පැමිණිලිකාරිය මෙය අල්ලස් කොමිසමට දැනුම් දුන් බවත් එහිදී උපායදූතයෙකු යොදවා හබරණ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පසුව සැකකරු ඉකුත් 25 වැනිදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (06) තෙක් රක්ෂිත භාරයේ තැබීමට නියෝග කර තිබූ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති අතර, තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගත යුතව ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත භාරයේ තබන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Social Sharing
නවතම පුවත්