ළමයින් සහ තරුණ තැනැත්තන් පනත සංශෝධනයට UNICEF ප්‍රසාදය

child and young persons act sri lanka

සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් සංවිධානයේ ඇගයීමට ලක් කෙරේ.

මෙය දිගු කලක සිට අපේක්ෂා කරන ලද නීතිමය පියවරක් බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සදහන් කරයි.

child and young persons act sri lankaළමයින් සහ තරුණ තැනැත්තන් පනත, 1939 වසරේ සිට මෙරට ළමුන් සඳහා යුක්තිය පසිඳලීමට භාවිතා කරනු ලබන ආඥා පනත වන අතර, මෙමගින් මීට පෙර ආවරණය කරනු ලැබූයේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි. එහෙත් නව සංශෝධනය ක්‍රියාත්මක වීම තුලින්, එම ආවරණය වයස අවුරුදු 18 ට අඩු සියලුම දරුවන් සඳහා ආරක්ෂාව පුළුල් කර ඇත. එසේම, මෙම නව සංශෝධනය මඟින්, දෙමව්පියන්, ගුරුවරුන් හෝ භාරකරුවන් විසින් ළමුන් සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිතා කිරීම පිළිගෙන තිබූ වගන්තිය ද ඉවත් කර ඇත.

මෙම නව සංශෝධන, ක්‍රියාත්මක වීම තුලින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට (CRC) අනුකූලව, පවත්වාගැනීමට දායකවෙයි. මීට අමතරව, මෙරට ළමුන් සහ නව යෞවනයන් මුහුණ දෙන අභියෝග සහ වෙනස්වන අවශ්‍යතා ද මෙම සංශෝධන මඟින් ආමන්ත්‍රණය කරයි.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත, ක්‍රිස්ටියන් ස්කූග් පවසන්නේ සංශෝධනය කරන ලද ළමයින් සහ තරුණ තැනැත්තන් පනත ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට සෑම දරුවෙකුගේම අයිතිවාසිකම් සහ ගෞරවය තහවුරු කරන යුක්ති පසිඳලීමේ පද්ධතියක් සහතික කරන බවයි. “ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සඳහා හිමි වී ඇති වැදගත් ස්ථානය මෙමඟින් සනිටුහන් කරයි. එසේම, මෙතනින් තවත් පියවරක් ඉදිරියට ගොස්, නිවාස සහ පාසල් ඇතුළු සියලු ස්ථාන වලදී ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ වැදගත්කම ද අපි අවධාරණය කරමු. එය ශ්‍රී ලංකාවේ සෑම ළමයෙකුටම ආරක්ෂිත සහ සුබදායි පරිසරයක් නිර්මාණය කිරීමට දායක වෙයි,” යැයි පැවසිය.

නීතිය හා ගැටුණු දරුවන් පිළිබඳව කටයුතු කිරීමේදී, එය සිදුවිය යුතු ආකාරය පිළිබඳව ද මෙම සංශෝධන යහපත් වෙනසක් සනිටුහන් කරයි. මීට පෙර, වැරදිකරුවන් ලෙස තහවුරු වූ වයස අවුරුදු 16-18 අතර ළමුන් කිසිදු රැකවරණයන් නොමැතිව, පුනරුත්ථාපනයන්ද නොමැතිව, වැඩිහිටි බන්ධනාගාරවල රඳවා තිබුණි. මෙම නව සංශෝධනය මඟින්, එවැනි දරුවන්ට, දඬුවම් කිරීම වෙනුවට ඉන් ඔබ්බට යමින්, පුනරුත්ථාපනය සඳහා ප්‍රමුඛත්වය දීමට පියවර ගෙන ඇත. පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවල අධීක්ෂණය යටතේ ඔවුන් මෙම පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙනු ඇත.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රඥප්තියට අනුව දරුවන් ආයතනගතව රඳවා තබා ගැනීම සිදුවිය යුත්තේ අවසන් විකල්පය ලෙස මෙන්ම අවම කාලසීමාවකටයි. මෑතකදී සිදු කරන ලද සොයාගැනීම් වලට අනුව, ළමුන් රැඳවුම් මධ්‍යස්ථාන වලට යොමු කිරීම, ඔවුන්ගේ සංවර්ධනයට මෙන්ම නැවත සමාජගත වීමට ද බාධා ඇති කරන අතර දරිද්‍රතාවයට සහ ප්‍රචණ්ඩත්වයට යොමුවීමේ සම්භාවිතාවය ද වැඩි වෙයි.

යුනිසෙෆ් විසින් යුක්තිය පසිඳලන ආයතන, පරිවාස හා ළමා සුරැකුම් අංශවල සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, බාල වයස්වල අපරාධකරුවන් සඳහා පවුල් පාදක පුනරුත්ථාපනය වැනි ආයතනගත නොවන ක්‍රියාමාර්ග භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙසයි. ඒ, ඒවා ළමුන්ට වඩාත් ඵලදායි සහ වඩාත් ආරක්ෂිත බැවිනි.

ලොව පුරා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් යුනිසෙෆ් විසින් දිගු කලක් තිස්සේ සිදු කරන ලද මැදිහත්වීම් මූලික කොටගෙන මෙම සංශෝධනය සඳහා ද යුනිසෙෆ්හි සහයෝගය ලැබුණි. 2023 වර්ෂයේ යුනිසෙෆ් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනු ලැබූයේ, ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන අධිකරණ සහ නීති පද්ධතිය තුල ප්‍රමාණාත්මකභාවය සහ සඵලතාව තහවුරු කිරීම සඳහා ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවක් පවතින බවයි.

දරුවන්ගේ උපරිම යහපත උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙන අධිකරණ පද්ධතියක් ගොඩනැගීම සඳහා ගනු ලබන එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන පියවරක්, ලෙස මෙම CYPO සංශෝධනය හැඳින්විය හැකියි. මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට සහ එහි වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණ මගින් අවධාරණය කරන්නේ, මෙරට ළාබාලම පුරවැසියාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට ඇති කැපවීමයි.

යුරෝපා සංගමයේ සහයෝගය තුලින් අධිකරණ අමාත්‍යාංශය සහ මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව, යුක්තිය සඳහා වන ප්‍රවේශය ශක්තිමත් කිරීමට, ගුණාත්මක හා කාර්යක්ෂම සේවා සැපයීම වැඩිදියුණු කිරීමට සහ විනිවිද භාවයෙන් සහ වගකීම් සහගතව කටයුතු කිරීම වැඩිදියුණු කිරීමට, යුනිසෙෆ් මේ වනවිට කටයුතු කරයි.

www.dinamina.lk

Social Sharing
අවකාශය නවතම